vimukthi-death-and-takata-air-bag-system

ආචාර්ය විමුක්ති ජයවීර කියන්නේ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥයෙක්. ශ්‍රී ලංකාවේ ග්‍රැෆින් ව්‍යාපෘතියේ විශේෂ කාර්යභාරයක් ඉටු කරමින් හිටපු පුද්ගලයෙක්. ඒ හරහා ලංකාවට විදේශ ආදායම් උත්පාදනය කරන අයුරු ගැන හීන දැක්ක කෙනෙක්.


විමුක්ති සෙනෙහෙබර සැමියෙක්, තෙමස් වයසැති බිලින්දෙකුගේ පියෙක්. හොඳ මිතුරෙක්. හැමදෙනා වෙනුවෙන් යුතුකම් ඉටුකළ හැමෝම ආදරය කරපු කෙනෙක්.
එත් මේ හැමදේම අත හැරලා වයස අවුරුදු 37ක් වුණු විමුක්ති පහුගිය සිකුරාදා අපෙන් සමුගත්තේ කුඹුක ප්‍රදේශයේ  සිදුවූ හදිසි අනතුරකින්.
ඒක විමුක්තිගේ කරුමයද... පවුලේ අයගේ කරුමයද...
නැහැ...විමුක්තිගේ මරණයට ප්‍රධාන ලෙස බලපෑ හේතු දෙකක් තිබුණා.
පලවෙනි හේතුව 120 ප්‍රධාන බස් මාර්ගයේ ටෙලිකොම් ආයතනයේ අලුත්වැඩියා කටයුත්තක් නිම කර අනාරක්ෂිත ලෙස ගොඩ කර තිබුණු පස් වැටිය..ඊට අදාළ පුද්ගලයන්ගේ වගකීම් රහිත ක්‍රියා ගැන කතා කරන එක ඵලක් ඇති දෙයක් නෙවෙයි. ලංකාව කොහොමත් මිනිස්සුන්ගේ මරණ වලින් පාඩම් ඉගෙන ගන්න රටක් නොවෙයි.


දෙවන හේතුව තමා බොහෝ දෙනෙකුට වැදගත් වන්නේ. මොකද සිකුරාදා විමුක්තිට සිදු වුණ දේ හෙට ඔබටත් ඔබේ ආදරණියයන්ටත් වෙන්න තියෙන අවදානම නිසා...
විමුක්ති මිය ගියේ මාර්ග අනතුරේ දී සිදු වූ ඍජු ගැටීමේ ප්‍රතිඵලයක් විදිහට නෙමෙයි. අනතුරේදී සිදුවන ඝට්ටනය සමඟ ක්‍රියාත්මක වුණ එයාර් බැග් ආරක්ෂණ පද්ධතියෙන් විසිවූ යකඩ කැබැල්ලක් විමුක්තිගේ බෙල්ලේ ප්‍රධාන රුධිර වාහිනියක් කපා දැමීම නිසා සිදුවූ රුධිර වහනයෙන්...
මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්න ලෝකේ පළමු පුද්ගලයා විමුක්ති නෙවෙයි. ඉක්මනින් ක්‍රියාත්මක නොවුනොත් අවසාන පුද්ගලයාත් විමුක්ති නෙවේවි. මොකද ලංකාවේ අපි බොහෝ දෙනෙක් දිනපතා වාහනයේ ගමන් කරන්නේ මේ මාරක අනතුර වාහන ඇතුලේ ම තියෙද්දී...
විමුක්ති පාවිච්චි කල හොන්ඩා වාහනය ඇතුළු ලංකාවේ පාවිච්චි කරන සැලකිය යුතු වාහන ප්‍රමාණයක එයාර් බැග් සිස්ටම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ටකාටා (TAKATA) කියන ආයතනයෙන්. ඔවුන්ගේ එයාර් බැග් ආරක්ෂණ පද්ධතිය ක්‍රියා කරන්නේ වාහනයේ සිදු වන ගැටීමක් සමඟ සිදුවන රසායනික පිපිරීමක් මගින්. ඇතැම් විට එම පිපිරීමෙන් එයාර් බැග් එක ක්‍රියාත්මක වීමේදී ඒ තුල ඇති යකඩ විල්ලක් වැනි කැබැල්ලක් (metal cartridge) කැබලි වී වාහනය තුලට ඉතා වේගයෙන් විසි වෙනවා. මේ යකඩ කැබිලි වෙඩි උණ්ඩය සේ පැමිණෙන්නේ බොහෝ විට වාහන පදවන පුද්ගලයාගේ පපුව හා ගෙල ප්‍රදේශයටයි. ඒ අනුව පුද්ගලයාට මරණීය තුවාල සිදු වෙනවා, විමුක්තිට සිදු වුණා වගේ.

වාහනය පරණ වන විට මෙම පද්ධතිය සුළු ගැටීමක් නිසා පවා පුපුරා යාමේ අවදානම වැඩි වෙනවා.
ටකාටා එයාර් බැග් ආරක්ෂණ පද්ධතිය වසර 2002 සිට 2015 දක්වා නිෂ්පාදනය වුණු වාහන බොහෝ ගණනක සමන්විතයි. ඒ අතර ලංකාවේ බහුලව භාවිතා වන වාහන රැසක් ඇතුළත්. එම වාහන මොඩල් පහත ලින්ක් එකෙන් ලබා ගන්න පුළුවන්. ඔබගේ වාහනය මෙයට ඇතුළත් දැයි බලන්න. (ඇමෙරිකා එක්සත් ජනපදයේ දි මෙම මාරක දෝෂය සහිත බව හඳුනාගත් වාහන ලැයිස්තුවක් මෙහි ඡායාරූප ලෙස අමුණා තියෙනවා. ඒ අතර ලංකාවේ බහුලව භාවිතා කරන වාහන රැසක් ඇතුළත්)
https://www.consumerreports.org/.../takata-airbag.../...
මේ අනතුර හඳුනා ගත්ත ඇතැම් රටවල් ටකාටා ආරක්ෂණ පද්ධතිය සහිත වාහන නැවත කැඳවීමක් (Recall) සිදු කර එම ආරක්ෂණ පද්ධති වෙනස් කිරීමක් සිදු කළා. ඒ පිළිබඳ දැනුවත්කිරීම් සහ ටකාටා එයාර් බැග් ආරක්ෂණ පද්ධතියෙන් මරණීය අනතුරු සිදු කරන අයුරු පිළිබඳ වැඩසටහන් පහත ලින්ක් හරහා බලන්න පුළුවන්.
https://youtu.be/KFdHkysWVJM
https://6abc.com/honda-recall-older-hondas.../12767232/
https://youtu.be/WkT3YMAcHlo
ඕස්ට්‍රේලියා සිටින අපගේ මිතුරෙකු සඳහන් කලේ මීට අවුරුදු කීපයකට පෙර ඔවුන් මේ අනතුර සහිත සියළු වාහන නැවත කැඳවීමක් කල බවත් එසේ නොකට වාහන වල ලියාපදිංචිය අවලංගු කල බවත්. අවාසනාවකට ලංකාවේ එවැනි අනතුරක්  පිළිබඳ සමාජය දැනුවත්වත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ නැහැ.
නමුත් දැන්වත් ප්‍රමාද නැහැ. දැන්වත් ක්‍රියාත්මක වුවහොත් අපට තවත් වටිනා ජිවිත රැසක් බේරගන්න පුළුවන්. ඒ අතර ඔබත් ඔබගේ පවුලේ අයත් සිටිය හැකියි.
ඒ නිසා හැකි පමණ මෙම කරුණු බෙදා ගන්න. අදාළ වාහන ආයතන සමඟ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි මෙම මාරක ආරක්ෂණ පද්ධතිය වෙනස් කිරීමට.
වාහන ඉංජිනේරු ශිල්පයේ වියතුන්ගෙන් අප ඉල්ලා සිටිනවා මේ පිළිබඳ වඩා තාක්ෂණික තොරතුරු මගින් සමාජය දැනුවත් කරන ලෙසට.
- සටහන - වෛද්‍ය කනිෂ්ක අතුකෝරල

සම්බන්ධිත පෙර ලිපිය
ආචාර්ය විමුක්ති ජයවීර (37) හොරණදී හදිසි අනතුරකින් මරුට