thushara-sanjeewa-sumedha-aruna-shantha

හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමඟි ජනබලවේගය නියෝජනය කරන සුමේධ අරුණශාන්ත මහතා තේරී පත්විය. නව නගරාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා ඊයේ (2) පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සුමේධ අරුණ ශාන්ත මහතා වැඩි ඡන්ද 4 ක් ලබාගනිමින් එම ධුරයට තේරී පත්විය. කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුවද ඔහුට ලැබී තිබුණේ ඡන්ද 6  ක් පමණක් වන අතර, සුමේධ අරුණ ශාන්ත මහතාට ඡන්ද 10ක් හිමිවිය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ කුරුණෑගල මහ නගර සභාවේ බලය සමඟි ජන බලවේගයට හිමිවිය. මෙහිදී සුමේධ අරුණශාන්ත මහතාට පක්ෂව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගාමිණී පෙරමුණගේ මහතා ද ඡන්දය දුන් අතර, විජයානන්ද වෙඩිසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනකු ඡන්දය දී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රජිත් ජයවර්ධන, බන්දු ජයසේකර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන බුද්ධික ඇල්ලේපොළ සහ ජාතික ජනබලවේගය නියෝජනය කරන රනුක සනංජය යන මන්ත්‍රීවරු සිවුදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. අරුණශාන්ත මහතා කුරුණෑගල මහ නගර සභාවේ 17 වැනි නගරාධිපතිවරයා වේ.

කුරුණෑගල මහ නගර සභාවේ 2023 අයවැය නිත්‍යනුකූලව සම්මත කර නොගැනීම හේතුවෙන් ඇතිවූ අර්බුදයක් මත වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔභ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට පැවරී ඇති බලතල අනුව තුෂාර සංජීව විතාරණ මහතා නගරාධිපති ධුරයෙන් ඉවත් කරනු ලැබූ අතර, ඉන් පසුව එහි වැඩ බලන නගරාධිපති ලෙස, නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩවාසලගේ මහතා ආණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලැබීය.ඉන් සතියකට පසු නව නගරාධිපතිවරයෙකු මෙම ඡන්ද  තෝරාගැනීමේ විමසීම  පැවැත්විණි.

මින් ඉහත හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබුනේ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ මයි ගසක්වත් සෙලවීමට තමන් ඉඩ නොතබන බවයි.