ruhuna-hostel-issue

අවේලාවේ නේවාසිකාගාරයෙන් පිටතට යෑමට නොදීමේ සිද්ධියක් මුල් කරගෙන රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් එහි උපශාලාධිපතිවරයාට, ඔහුගේ බිරියට හා නැන්දණියට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් එම පීඨය ඊයේ (27) දහවල් 12.00 සිට තාවකාලිකව වසා දැමූ බව පීඨාධිපති මහාචාරිය සුභාෂ් ජයසිංහ මහතා පැවසීය.



සිසුන්ගෙන් පහර කෑමට ලක් වූ බව කියන උප ශාලාධිපති කුසල් ගුණවර්ධන, එම විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ කථිකාචාර්යවරියක වන ඔහුගේ බිරිය හා නැන්දනිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඹුරුපිටිය ආදපාන රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.  පහර දීමට සම්බන්ධ සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කඹුරුපිටිය පොලීසිය පවසයි. රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය කඹුරුපිටිය ගඋදාව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතර එහි දුර බැහැර තත්වය සැලකිල්ලට ගෙන සිසු සිසුවියන් 800 කට පමණ නේවාසිකාගාර පහසුකම් ලබාදී තිබේ. සිසුවියන්ට අත්‍යාවශ්‍ය හෝ අසනීප තත්වයකට හැර රාත්‍රි 8.00 න් පසුව ද සිසුන්ට රාත්‍රි 9.00 න් පසුවද නේවාසිකාගාර වලින්  පිටතට යාම තහනම් කර තිබෙන බව කියති.



කෙසේ වෙතත් සිසුන් පිරිසක් පිරිමි නේවාසිකාගාරයෙන් පෙරේදා (16) රාත්‍රී 10.30 ට පසු පිටතට යෑමට උත්සාහ කළ අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරීන් එය දැක නතර කර ඇති බවත් ඉන් අනතුරුව එම සිසුන් පිරිස ඉහළ මහලට දුව ගොස් අනෙකුත් සිසුන් සමග එක් වී ඝෝෂාකාරී ලෙස හැසිරී ඇති බවත් පිඨාධිපති ජයසිංහ මහතා කීවේය. එම ඝෝෂාව ඇසී උප පාලකවරයා එම ස්ථානයට පැමිණ ඇති බවද එවිට සිසුන් නේවාසිකාගාරයට විදුලිය සැපයෙන ප්‍රධාන ස්වීචය විසන්ධි කර ඔහුට පහර දීමට උත්සාහ කර ඇති බවද හෙතෙම කීවේය.  නේවාසිකාගාර උප පාලකවරයා සිසුන්ගේ ග්‍රහණයෙන් මිදී තම නිල නිවෙසට දුවගෙන ගිය අවස්ථාවේ දී කලහකාරී සිසුන් පිරිසක් ඔහු පසුපස ලුහු බැඳ ගොස් පහර දී ඇතැයිද ඔහු බේරා ගැනීමට මැදිහත් වූ බිරියට හා නැන්දනියට ද පහර දී ඇතැයි ද ජයසිංහ මහතා සඳහන් කළේය.

ඇති වූ කලබලකාරී වාතාවරණය සමථයට පත්වන තුරු සිසු සිසුවියන්ගේ ආරක්ෂාව ගැන සිතා රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතාගේ උපදෙස් මත පීඨ මණ්ඩලය රැස් වී තාක්ෂණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පීඨාධිපතිවරයා කීවේය. මේ පිළිබඳව තාක්ෂණ පීඨයේ සිසුන්ගේ පාර්ශ්වයෙන් විමසීමට දැරූ උත්සාහය අසාර්ථක විය.

ක්‍රිෂාන් ජීවක ජයරුක්