
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දිවයිනේ බොහෝ පෙදෙස්වල වාහන කොල්ලකෑමේ නිරතව සිටි බව කියන දෙනකුගෙන් ගෙන් යුත් කණ්ඩායමක් කොල්ලකෑම සඳහා භාවිත කළ මෝටර් රථය ද සමඟ නිට්ටඹුව පොලිසිය විසින් ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට, මාතර, මුල්ලේරියාව සහ මාඉඹුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය පවසයි. පොලිසියට ලද තොරතුරකට අනුව නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් පිරිසක් නිට්ටඹුව, මාඉඹුල ප්‍රදේශයේ රැකවල්ලා සිට ඇති අතර සැකකරුවන් සිවුදෙනා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නවතා පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් නිලධාරීන් භාවිතා කරන පොලිස් නිල ලාංඡන සහිත පොලිස් ක්‍රීඩා ඇඳුමෙන් සැරසී සිට ඇතැයි පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් මෝටර් රථය තවදුරටත් පරීක්ෂා කිරීමේ දී එහි තිබී පොලිස් අත් මාංචු යුවලක්, පොලිස් නිල ලාංඡන සහිත පොලිස් ක්‍රීඩා ඇඳුම් කිහිපයක් සහ ව්‍යාජ අංක තහඩු කිහිපයක්ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ව්‍යාජ ලෙස එකලස් කළ වාහන තිබෙන ස්ථාන බලා එම ස්ථානවලට ගොස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වාහන අත්අඩංගුවට ගන්නා බව පවසා ඒවා රැගෙන ගොස් කොටස් කර අලෙවි කරන බවය.
ඔවුන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගොස් ව්‍යාජ ලෙස එකලස් කළ වාහන තිබෙන ස්ථාන සොයා පසුව පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙසේ වාහන කොල්ල කා ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලින් හෙළිවූ තොරතුරු අනුව ඔවුන් මෙලෙස පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ මෝටර් රථයක්ද කිරිබත්ගොඩ ප්‍රදේශයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන ගනු ලැබීය. සැකකරුවෝ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
වාරණ ආනන්ද ඉ ජයකොඩි
Comments
Post a Comment
Your comment will be visible after approval