kesbewa-youth-death

කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක ඉහළ කොටසේ සිට බිමට වැටී ඊයේ 31 අලුයම හෝටලයේ මුදල් අයකැමිවරයා ලෙස සේවය කළ තරුණයකු මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සදහන් කරයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙණිපිටිය, වරකාපිටිය, පිරිස්වත්ත පදිංචිව සිටි රිද්ම තරංග නමැති 26 හැවිරිදි තරුණයෙකි. වසර දෙකහමාරකට පමණ ඉහත දී එම තරුණයා හෝටලයේ රැකියාවට පැමිණ ඇතැයි පොලීසිය සඳහන් කරයි. රාත්‍රී 11ට පමණ හෝටලය වසා ඇති බවත් රාත්‍රී දෙකට පමණ මුදල් අයකැමිවරයා හෝටලය ඉදිරිපිට ලේ පෙරාගෙන වැටී දඟලමින් සිටින අයුරු

වේටර්වරයකු දැක ඇති බවත් පොලිසිය කියයි.

ඒ බව හෝටලයේ හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ විනාඩි කීපයක් තුළ දී තරුණයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතත් පැය භාගයකට පමණ පසු තරුණයා මිය ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි. මියගිය තරුණයා වැටී සිටි ස්ථානයේ තිබූ යතුරු පැදියක් පෙරළී තිබූ අතර තරුණයා වැටීමේදී ඔහුගේ ශරීරය ගැටී යතුරුපැදිය පෙරළුණාද? වෙනත් හේතුවක් මත යතුරුපැදිය පෙරළුණාද? යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.

තරුණයා පෙරේදා රාත්‍රී සිට ජංගම දුරකතනයේ රැඳී සිට කිසියම් අයකු සමග කතාබස් කරමින් සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. තරුණයා තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලින් වැටුණාද ?

කිසියම් සිද්ධියක් මුල් කරගෙන ඔහුට අනතුරක් වූවාද ? යන්න පිළිබඳව පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මෙන්ම ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.  කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ. එම්.ආර්. සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.


බිමල් ශ්‍යාමන් ජයසිංහ