kapuwa-story

විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර ගැනීමට දේවාලයට පැමිණි තරුණිය දූෂණය කිරීමේ චෝදනාවට  වරදකරු වූ කපුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (20) නියම කළේය. විත්තිකරු වසර 10 කට පෙර මෙම අපරාධය කරන අයුරු ඇසින් දුටු සාක්ෂි නොමැති  වුවත් සිය නීත්‍යනුකූල බිරිඳට හෝ බලහත්කාර කමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බවට පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුට  එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබ ඇතැයි තීරණය කරමින් ඔහුට මෙම දඬුවම නියම කළේය.



චෝදනාවලට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස්   ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය සනූන් බදුර් මොහොමඩ් නමැති කපුවෙකුය. 2012 ජූනි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක  කොළඹ ප්‍රදේශයේ ග්‍රෑන්ඩ්පාස් දී ඇයගේ කැමැත්තකින් තොරව තරුණියක දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා  විසින් චෝදනා නගනු ලැබ තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති  දීර්ඝ නඩු විභාගයේ දී දූෂණයට ලක් වූ තරුණීය තම විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර පූජාවක් පැවැත්වීමට පවත්වා ගෙන ගිය දේවාලයට සිය පෙම්වතා ද සමඟ ගොස් ඇති බවත්  ඒ අවස්ථාවේ දී විත්තිකරු පෙම්වතා දේවාලයෙන් බැහැරට යවා ඇති බවත් හෙළිවිය'' පසුව නිවෙසේ සිටි විත්තිකරුගේ බිරියට කතා කර පූජාවට බිත්තරයක් අවශ්‍ය බව පවසා ඇයද නිවෙසින් පිටතට යැවීමෙන් අනතුරුව දේවාලයේ දොර වසා මෙම තරුණීය දූෂණය කර ඇති බව නඩු විභාගයේ දී අනාවරණය විය.



සිද්ධිය ඇසින් දුටු කිසිවකු නොමැති බව විත්තියෙන්  තර්ක කළ අතර දූෂණය බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් තරුණියගේ ඇගේ තිබී සොයාගත් සාම්පල සමඟ  විත්තිකරුගේ ඩී.එන්.ඒ. සාම්පල සැසඳෙන බවට පැමිණිල්ල මගින් සනාථ කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා සිය නීත්‍යනුකූල බිරිඳට හෝ  බලහත්කාරකමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බව අවධාරණය කළේය. විවාහය සාර්ථක කර ගැනීම සඳහා විත්තිකරුගේ දේවාලයට ගිය තරුණිය  විත්තිකරු විසින් දූෂණය කරනු ලැබ ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරනු ලැබූ ඇතැයි තීරණය  කළ විනිසුරුවරයා එම චෝදනා වලට විත්තිකරු වරද කරු කරමින් විත්තිකරුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. සිර දඬුවමට අමතරව රුපියල් 10,000/-ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවුවහොත්  06ක අමතර මාස සිරදඬුවමකටද ඔහු යටත්  කළේය.
මනෝප්‍රිය ගුණසේකර