drone-man-arrested

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය මගින් නිකුත්කරන ආරක්ෂක නිෂ්කාශන සහතිකයක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කර ඩ්‍රෝනා යානාවක් ගුවන් ගත කළ තරුණයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින් ගොතටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙකි.

ඔහු ඩ්‍රෝන යානා නිතර ගුවන්ගත කරමින් විවිධ ඡායාරූප ගන්නා බවත්, මෙම යානාව ගුවන්ගත කළ අවස්ථාවක දී පොලීසිය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම ව්‍යාජ ලේඛන පෙන්වා පොලීසිය පවා නොමග යවා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 18 වැනිදා කළ විමර්ශනයේ දී ඩ්‍රෝන යානාවක් ගුවන්ගත කිරීම සඳහා ලබා ගත් බව  කියන අවසර පත්‍ර ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි  කරගෙන ඇත. ඔහු මේ අයුරින් විවිධ ස්ථානවල ඡායාරූප ගෙන කිසියම් ත්‍රස්තවාදී කටයුත්තක නිරත වූයේ ද යන්න හෙළිකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. ඩ්‍රෝනා යානාව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට  ගෙන ඇත.

  ඉන්දිකා රාමනායක