al-power-cut

අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ ගොනුවූ පෙත්සම නිසා ඊයේ (2) දිනයේ පමණක් විදුලි කප්පාදුව නතරවූ අතර පෙත්සම් විභාගය අද (3) ගන්නා තෙක් එසේ කරන ලෙස දන්වා තිබුණි. කෙසේ වෙතත් අද (3) එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ නැවතත් පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව විභාගයට ගන්නා තෙක් විදුලි කප්පාදුව නතර කරන්නට අතුරු නියෝගයක් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසය.


එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) ප්‍රතික්ෂේප කර ඇත.මෙහිදී විත්ති පාර්හ්වය කියා ඇත්තේ ජල පෝෂක කලාප වල ගැටලුකාරී තත්වය නිසා එවැනි ඉල්ලීමක් ඉටුකිරීම ප්‍රායෝගිකව අපහසු බවය.
ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල
මෙම ප්‍රතික්සේපය නිකුත් කළ නිසා අද (3) වනදා සිට නැවත විදුලි කප්පාදුව සිදුවිය.
ලබන 18 වනදා තෙක් උසස් පෙළ පැවැත්වෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම නඩු විභාගය ඉක්මන් කරන්නට විශේෂ උවමනාවක් නැතිව ඊළඟ වතාවට නඩුව කැඳවා ඇත්තේ ලබන 7 වනදා දවල් 1.30 ටය. ඒ දක්වා විදුලි කප්පාදුව සිදුවනු ඇති බවට ඒ අනුව අනුමාන කෙරේ.එදින තීරණය අනුව දිගටම සිදුවන්නටද ඉඩ තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයටගනිමින් පවතී.


රජය කල්පණා කරන්නේ මහජන උපයෝගීතා කොමිසම සහ විදුලි බල ඇමති අතර කඹ ඇදිල්ලක් ගැන මිස උසස් පෙළ සිසුන්ට සහනයක් සැලසීම ගැන නොවන බවට විවේචන පවතී.
 මේ අතර මේ දක්වා ජනක රත්නායක මහතා සමග වැඩ කළ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුද ඉල්ලා අස් වී තිබෙයි.
කොමිසමේ උප සභාපති සහ කොමිසමේ සාමාජික ඉංජිනේරු බී කේ යූ ඒ වික්‍රමසිංහ සහ කොමිසමේ සාමාජික මොහාන් සමරනායක යන අය ඉල්ලා අස්වී තිබේ.
ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි මුදල් ආර්ථික සංවර්ධන හා ජාතික ප්‍රතිපත්ති පිළිබද ලේකම්වරයාට යොමු කර දන්වා ඇත්තේ මහජන උපයෝගී කොමිසමේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය, ඒකමතිකව තීන්දු ගැනීම වැනි කාරණා හේතුවෙන් තමා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවය.