aban-hyundai-grand-i10
ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය. Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී වෙළෙඳපොලට හඳුන්වා දීම සිදුවිය.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ.
පූර්ණ ආනයනික වාහනයක් නොවන නිසා මෙම වාහන ඉදිරියේදී වෙළෙඳ පොළට වැඩි වශයෙන් අලෙවියට ඉදිරිපත් කළ හැකිවනු ඇත.


මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,
මෙම Hyundai Grand i10 මෙරට එකලස් කිරීම, අබාන් පෙස්ටන්ජී මහත්මියගේ අධිෂ්ඨානයට උපහාරයක්.1977 දී ආර්ථිකය විවෘත කළ විට ඇය මෙම ගමන ආරම්භ කළ ආකාරය මම දන්නවා.
මට මතකයි එදා මම පස්වැනි පටුම‍ගෙන් ගාලු පාරට එන විට අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් තිබුණා. අද වන විට ඔබ එතනින් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඔබ කළ දේට බොහෝම ස්තූතියි.
රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් මොහොතක නවතම වාහනයක් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් තහවුරු වන බව ජනාධිපතිවරයා පැවසීය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.