wellampitiya-incident

වැල්ලම්පිටිය, ලන්සියවත්ත ප්‍රදේශයේ ගෙහිමිකාරියගේ මුහුණ සහ නහය වැසෙන සේ කොට්ටයකින් හුස්ම සිරකර ඝාතනය කර රුපියල් ලක්ෂ 50 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් රැගෙන පලාගිය මෙහෙකාරිය සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය 29 හැවිරිදි පස් මස් ගැබිනියක බවත් පොලිසිය කියයි.  ඉකුත් 15 වැනි දින ඝාතනයට ලක්වූ 60 හැවිරිදි මොහොමඩ් ජෙකිර් ෆාතිමා නසීර් මීට මාස 6 කට පමණ ඉහත දී ලන්සියවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවෙසක පහත මහල කුලී පදනම මත ලබාගෙන කුඩා මුනුපුරන් දෙදෙනකු සමග පදිංචියට පැමිණ ඇත.



කලකට ඉහත දී මෙහෙකාර සේවයේ නිරත වූ සැකකාරිය ඝාතන සිද්ධියට සති දෙකකට පමණ ඉහත දී නැවතත් එම නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරු සැකකාරියගේ මස්සිනා වන අතර ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධතාවක් ගොඩනැඟී සැකකාරිය පස් මස් ගැබිනියක් බවට ද පත්ව තිබූ බව පොලිසිය කියයි. ඔවුන් මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචිව සිට ඇත. වෙනම ගෙයක් කුලියට ගන පදිංචිවීමට සැකකරු කළ යෝජනාවට සැකකාරිය කැමැත්ත පළකොට ඇති අතර ඊට මුදල් අවශ්‍ය බැවින් අනියම් සැමියා වන මස්සිනා කළ යෝජනාවක් අනුව ගෙහිමි කාන්තාව බිය කර මුදල් ගැනීමට ඔවුන් සැලසුම් කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව ඉකුත් 15 වැනි දින  සිය අනියම් සැමියා වන මස්සිනාව රාත්‍රී 11.00 ට පමණ නිවෙස තුළට කැඳවාගත් සැකකාරිය ඔහු සමග එක්ව නිදා සිටි කාන්තාව හැඳ  සිටි මුන්දානියෙන් (සෝල්) කට ගැට ගසා ඇති අතර, එම අවස්ථාවේදී කාන්තාව සැකකරුගේ අත සපා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. ඒ සමගම කාන්තාව කෑ ගසා ඇති අතර සැකකාරිය අත් දෙක අල්ලා සිටිය දී නහය සහ කට වැසෙන සේ සැකකරු ඒ අසල තිබූ කොට්ටයක් ගෙන තද කර ඇතැයිද එයින් බේරීම සඳහා කාන්තාව දැඩි උත්සාහයක් ගෙන සැකකරුගේ පිටද සූරා ඇතැයිද ටික වේලාවක දී කාන්තාව කිසිදු ශබ්දයක් නොකර නිසොල්මන් වූ බව සැකකරු හා සැකකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ බව පොලිසිය කියයි.



අනතුරුව සැකකරු හා සැකකාරිය අල්මාරියේ තිබූ රන්මාල දෙකක්, වළලු හයක්, මුදු හතක්, විදේශ රටවලට අයත් කාසි , රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මෙරට මුදල්, එම කාන්තාවගේ ඇඳුම් සහ කාන්තාවගේ දියණියගේ ඇඳුම් ද රැගෙන අලුයම එකට පමණ එම නිවෙසින් පිටවී ගොස් තිබූ බව පොලිසිය කියයි. මට්ටක්කුලිය සමිත්පුර නිවෙසට ගොස් මඳ වේලාවකින් එයින් පිටවී මොණරාගල නිවාඩු නිකේතනයක එදින ගත කර තිබූ බව පොලිසිය කියයි. එහිදී සැකකාරිය රූපලාවණ්‍යාගාරයකට ගොස් සිය හිස කෙස් දිගු කොට වෙනස් කර ඇතැයි ද පොලිසිය කියයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට දුන් උපදෙස් අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විමර්ශන සිදු කරමින් සිටියදී පොලිස් සැරයන් (69598) අනිල් නිලධාරියාට ලද සාර්ථක තොරතුරක් අනුව සැකකරු හා සැකකාරිය මරදාන ටෙක්නිකල් හන්දියේ දී අත් අඩංගවට ගැනීමට හැකි ව බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වැල්ලම්පිටියෙන් නිවෙස් හිමිකාරිය ඝාතනය කර කොල්ලකෑ රන් භාණ්ඩ සහ මුදල් සැකකාරිය සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර එක් මුදුවක් පමණක් උකස් තබා ඇතැයි පොලිසිය කියයි.

එම රන් මුදුව අකුරණ ප්‍රදේශයේ වෙළෙඳසලකට උකස්කර මුදල් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිණි. එකී දින හතර තුළ සැකකරු හා සැකකාරිය මාතර, නුවර, අම්බලන්තොට ආදී ප්‍රදේශවල සැරිසරමින් නිවාඩු නිකේතනවල ගත කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුට වයස අවුරුදු 24 ක් වන අතර සැකකාරිය වයස අවුරුදු 28 කි. සැකකරු හා සැකකාරිය අලුත්කඩේ අංක දෙක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)