welan-swami-arrested

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සංචාරයක නිරත වන අවස්ථාවේදී ඊට විරෝධය පාමින් විරෝධතාවකට සහභාගි වී කලහකාරී ලෙස හැසිරුණු ජනතා නැගිටීමේ ව්‍යාපාරයේ සම්බන්ධීකාරක වේලන් ස්වාමිවරයා ඊයේ (18දා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පියවර ගෙන ඇත. පසුගිය 15වැනිදා යාපනය, නල්ලූර් කෝවිල ආසන්නයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති තෛපොන්ගල් උත්සව අවස්ථාවේදී ඊට විරෝධය පාමින් පොතුවිල් ප්‍රදේශයේ සිට පොලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනක් පැවත්විණි.

 එහිදී විරෝධතාවට සහභාගි  වූ යාපනය සරසවි සිසුන් සහ  අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සමග අත්අඩංගුවට පත් වේලන් ස්වාමිවරයාද සහභාගි වූ අතර,

විරෝධතාව අතර නොසන්සුන්තාවක් ඇති වී පොලීසිය විසින් ජල ප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.  එම විරෝධතාව අතරතුරදී පොලීසියේ රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාට බැණ වැදීම, මහජන සාමය කඩකිරීම ආදී චෝදනා මත ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමිවරයා අත්අඩංගුවට ගෙන පැය 03ක් පමණ ප්‍රශ්න කර යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කෙරිණි. එහිදී වේලන් ස්වාමිවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු  නීතිඥවරුන් 05දෙනෙකු පමණ පෙනීසිට ඇත.

යාපනය මහේස්ත්‍රාත් පී. ජස්ටින් මහතාගේ නිල නිවසට ඊයේ රාත්‍රියේ වේලන් ස්වාමිවරයා රැගෙන ගොස් යොමු කිරිමට යාපනය පොලීසිය පියවර ගත් අතර, එහිදී වේලන් ස්වාමිවරයාට අවවාද කොට ඇපමත මුදාහැරීමට යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග  කරන ලදී.

මේ අතර අදාළ විරෝධතාවේදී කලහකාරි ලෙස හැසිරුණු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු සහ  අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කිහිපදෙනෙකුද අත්අඩංගුවට  ගැනීම පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයිද  යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.


 මධුෂංඛ අමරසිංහ