wedding-fight-ear

විවාහ වී දෙවැනි ගමනින් පසු නිවසට පැමිණි මනාලයා මිතුරකු සමග බියර් පානය කළැයි උරණ වූ මනාලිය මනාලයාට පහර දී කැබැල්ලක් කැඩි යන තෙක් කන සපා කෑ පුවතක් ගම්පොල  ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම මනාලිය මනාලයාගේ සිරුරද සූරා තුවාල කර, ඔහුගේ නැගණියට ද පහර දී ඇති අතර, මනාලයාගේ මවට හා පියාට බැණ වැදී ඇතැයි වාර්තා වේ. මෙම යුවළ වසර හතක ප්‍රේම සම්බන්ධයකින් පසුව විවාහ වී ඇති බව ගම්පොල පොලිසිය පවසයි.

මනාලිය ගම්පොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. පුද්ගලික මූල්‍ය ආයතනයක සේවය කළ තරුණියකි. මනාලයා ගලත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෞද්ගලික ආයතනයක සේවය කරයි.

දෙදෙනාගේ විවාහය මීට දින පහකට පෙර සිදුකර ඇත්තේ විශාල මුදලක් වැය කරමින් වන අතර, ඡායාරූප ශිල්පියාට පමණක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය කර තිබේ. දෙදෙනා මධුසමයට ගොස් සිවුදිනක් පමණ ගත කර ගලත පිහිටි මනමාලයාගේ නිවසට යළි පැමිණ එහිදී මනාලයා මිතුරකු සමඟ නිවසින් බැහැරව ගොස් බීර පානය කර ඇති අතර මනාලයාට නිවසට පැමිණීමට විනාඩි 30 ක් පමණ ප්‍රමාද වී තිබේ.

මින් දැඩි ලෙස කෝපයට පත් මනාලිය මනාලයාට බැණ වැදී පහර දීමට පටන් ගෙන ඇති අතර, ලේ පෙරෙන තුරු කන ද සපා කා ඔහුගේ ශරීරයද නියපොතු වලින් සූරා තිබේ. මෙම කලබලය නැවතීමට මැදිහත් වූ මනාලයාගේ මවට හා පියාට ද බැණ වැදී ඇති මනාලිය මව තල්ලු කර දමා මනාලයාගේ නැඟණියට ද පහර දී සිය නිවසට දුරකතන ඇමතුමක් දෙමින් තමා රැගෙන යන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.



ඒ අනුව මනාලියගේ පාර්ශවයේ විශාල පිරිසක් ත්‍රිරෝද රථවලින් මනාලයාගේ නිවසට පැමිණ ඇති අතර, සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට ද දැනුම් දී තිබේ. මනාලයා හෝ පාර්ශ්වයේ කිසිවකු මනාලියට පහරදීමක් සිදුකර නොමැති අතර නව යුවළ යළි එක්කිරීමේ අරමුණින් පොලිස් නිලධාරීන් දෙදෙනා දෙපාර්ශවයටම පසුදා ගම්පොල පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.


- සුරංග රාජනායක-