potuhera-dalada

පොතුහැර, වදාකඩ ‘ශ්‍රී ගෞතම බෞද්ධ මන්දිරය’ නමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවට සමානව නිර්මාණය කළ ව්‍යාජ දළදා මාලිගාවේ කොටස් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කිරීමට එය නිර්මාණය කළ ජානක සී. සේනාධිපති නමැත්තා ඊයේ (8) කටයුතු කළේ ය.

දළදා මාලිගාවේ අනුරුව ඉදිකිරීම සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු ප්‍රධාන මහ සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ, මර්වින් සිල්වා ඇතුළු විවිධ පුද්ගලයින් හා සංවිධාන විරෝධය පළකිරීමත් සමග ඔහු මෙම කොටස් ගලවා ඉවත් කිරීම සිදු කළේය.



මෙම ව්‍යාජ දළදා මාලිගාවේ ඉදිකිරීම සඳහා ජානක සේනාධිපති නමැත්තාට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව සොයා බැලීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මේ වනවිට පියවර ගෙන ගෙන ඇති බව ද වාර්තා වේ.

ගොඩනැගිල්ල සකස් කිරීමට අදාළ මුදල් විදේශීය රටවලින් ලැබී තිබේ ද? එසේ නොමැති නම් එම මුදල් මෙරට තුළදී ආධාර මුදල් වශයෙන් එකතු කළ ඒවා ද යන්න පිළිබඳව සොයා බැලීමට නියමිත බව පැවසෙන අතර, ගොඩනැගිල්ල සකස් කිරීම සඳහා නියමිත අනුමැතියක් ගෙන තිබේ ද? මෙවැනි ගොඩනැඟිල්ලක් සකස් කිරීමෙන් පුරාවිද්‍යා පනත උල්ලංඝණය කර තිබේ ද? යන්න පිළිබඳවත් සොයා බැලීමට එම අමාත්‍යංශය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.



සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ද මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත උල්ලංඝණය කරමින් ඉදිකර ඇති බවට අනාවරණය වුවහොත් එම පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ද  එම අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.