postal-charges-issue

මුද්දර ගාස්තු ඉහළ දැමීම නිසා මේ වනවිට සාමාන්‍ය ලිපි හා ලියාපදිංචි ලිපි යැවීම් 70%කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.  තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව අවම කර ගැනීමට බව පවසමින් තැපැල් ගාස්තුව අධික ලෙස ඉහළ දැමීම නිසා සාමාන්‍ය ජනතාව තැපැල් කාර්යාලවලට පැමිණීම ක්‍රමානුකූලව අඩුවෙමින් තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය. දැනට රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතනවල රාජකාරී ලිපි හා බැංකුවලට අදාළ ලිපි ලැබෙමින් තිබෙන බවත්, ජනතාවට දරාගත නොහැකි ආකාරයට පසුගිය වසරේ අගොස්තු 15 වැනිදා සිට ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ බවත් ඔහු පවසා සිටියේය.



සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 15.00 සිට රුපියල් 50.00 දක්වාත්, ලියාපදිංචි තැපැල් ගාස්තුව රුපියල් 45.00 සිට රුපියල් 110.00 දක්වාත් විදේශ රටකට ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමේදී අය කළ ගාස්තුව රුපියල් 200.00 සිට රුපියල් 800.00 දක්වාත් ඉහළ ගිය බවද හෙතෙම පවසා සිටියේය.  ගාස්තු ඉහළ දැමීම ජනතාවට දරාගත නොහැකි බවට තම සංගමය බලධාරීන්ට එම අවස්ථාවේදීම පෙන්වා දුන් බවත්, මේ අනුව මාස තුනක් තුළදී ගාස්තු ඉහළ යෑමෙන් බලපෑම් සිදු වූවාද යන්න සොයා බලා අවශ්‍ය කටයුතු කරන බවට බලධාරීන් සඳහන් කළ බවත් ඒ මහතා කියා සිටියේය.

එහෙත් මෙතෙක් අදාළ කටයුතු සිදුකර නොමැති බවත්,

ගාස්තු අධික ලෙස ඉහළ දැමීම නිසා තැපැල් දෙපාර්තමේන්තුවට යම් ආදායමක් ලැබුණද සාමාන්‍ය ජනතාව තැපැල් කාර්යාලවලට පැමිණීම අඩුවීම බරපතළ ගැටලුවක් බවත් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබන නිසා ගාස්තු ඉහළ දැමුණද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වසරකට නොමිලේ ලබාදෙන රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක මුද්දර ප්‍රමාණය ලබාදීම නවතා දැමීමට හෝ අඩු කිරීමට කටයුතු නොකළ බවද ඔහු පවසා සිටියේය. බොහෝ මන්ත්‍රීවරුන් අදාළ මුද්දර උපයෝගී කරගෙන තම තමන්ගේ පෞද්ගලික කටයුතු සිදුකරන බවත්, මේ නිසා මන්ත්‍රීවරුන්ට මුද්දර ලබාදීම අත්හිටුවා මුද්දර ගාස්තුව අඩු කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කළේය.