new-cricket-board

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට අලුතින් නාම යෝජනා කැදවීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව ඊයේ (30දා) තීන්දු කළේය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය  සහ ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු රාශියක් සාකච්ඡා කිරීම සඳහා ජාතික ක්‍රීඩා සභාව සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අමාත්‍යාංශයට කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව ඒ සඳහා අදාළ ක්‍රියාපටිපාටිය අමාත්‍යාංශයේ මැදිහත් වීම තුළ සිදු කිරීමට නියමිත අතර, පසුව එය ගැසට් කිර්මට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව වෙත යොමුකළ ක්‍රිකට් තේම් කමිටුවට අදාළ නාමයෝජනා 10ම ජාතික ක්‍රීඩා තේම් කමිටුව ප්‍රතික්ෂේප කිරීම

සහ ඊට පත් කළ හැකි නව සාමාජිකයන් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, එහි අවසන් තීරණය වී ඇත්තේ මීට වඩා ගුණාත්මක තේරීම් කමිටුවක් නිර්මාණය කරගැනීමට අලුතින් නාමයෝජනා කැඳවීමටයි.  එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවිධ හේතු මත තෝරා නොගන්නා ඉතා හොඳ දැනුමක් සහිත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීම් කමිටුවට එක්කර ගැනීමේ තීරණය මත මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහිදී හිටපු ක්‍රිකට් තේරිම් කමිටු සභාපතිවරුන් වන අසන්තා ද මෙල් හෝ සනත් ජයසූරිය යන මහත්වරුන් සභාපති ධුරයට පත් කිරීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ. විශේෂයෙන් සනත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්ව පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවද අනාවරණය වේ.

මීට අමතරව මේ වනවිට අක්‍රියව පවතින ක්‍රිකට් උපදේශක කමිටුව වහාම පත් කිර්මටත්, මෙම සතිය තුළදී එම වැඩ කටයුතු අවසන් කිරීමටත් නියමිතය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා හිටපු ක්‍රිකට් නායකයන් ඇතුළු වෘත්තිකයන් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ එකඟතාව අනුව ස්වාධීන කමිටුවක් පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිර්මටද අමාත්‍යවරයා පියවර ගෙන ඇත. ඒ අනුව ඒ සඳහා සුදුසුකම්ලත් විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත කමිටුවකට අදාළ නම්  එහිදී සාකච්ඡා වී ඇති අතර, එම කමිටුවද මෙම සතිය තුළදී පත් කිර්මට නියමිතය.



මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කමිටු වාර්තාව ඊයේ (30දා) ජාතික ක්‍රීඩා සභාවේ සියලුම සාමාජිකයන්ට ලබා දී ඇති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් වන නීතිපතිවරයාගේ මතය සහ එම වාර්තාවේ අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කළ හැකිවනුයේ කෙසේද යන්න එළඹෙන බ්‍රහස්පතින්දා (02දා) රැස්ව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසා සිටියේ නීතිපතිවරයාගේ මතය අනුව මෙම වාර්තාව පාදක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීන විගණනයක් සිදු කරන බවත්, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේ නඩු විභාගයෙන් තීන්දුවක් ලැබෙනතුරු සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් තහනම් කිරීමටත් නිර්දේශ කර ඇති බවයි.

පැතුම් ශ්‍රී විජේරත්න