maithripala-next-presidency

මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසියම් ආවේගාත්මක ආකාරයකින් අද ප්‍රකාශ කළේය. ඒ සඳහා පක්ෂයේ සහයෝගය තමාට ඇතැයිද ඒ මහතා සඳහන් කලේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ
තමන්ට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවත් ඒවාට නොසැලෙන බවත් කියමින් කිසියම් ආවේගාත්මක වචන කිහිපයක් පවසන අතරවාරයේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බව තමා විශ්වාස කරන බව හිටපු ජනපති කියා සිටියේය.
මෛත්‍රිපාල සිරිසේන ජනපති ධූරය වගකීම් විරහිතව ඉටුකිරීම හේතුවෙන් කෝටි 10ක දඩයක් ලෙගවන ලෙස පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවය.
2015 පොදු අපේක්ෂක ලෙස බහුතර එජාප ඡන්ද වලින් තේරිපත්වූ මෛත්‍රිපාල සිරිසේන පසුව ශ්‍රීලනිප සභාපති ධූරය දරමින් වෙනම ශ්‍රීලනිප නායකත්වයක් වටා ජනතාව ගොනු කිරීමට උත්සාහ කළද ඊට පසු පැවති මැතිවරණවලදී ශ්‍රී ලනිප වටා සිතූ තරම් පිරිසක් එකතු කරගැනීමට බැරි විය.

පසුව ඔහු සිය පූර්ව ප්‍රතිවාදියා වූ මහින්ද සමග හවුලේ වත්මන් රජයට සහය දක්වා සිටි නමුත් පසුව එම කණ්ඩායමින්ද ඉවත්විය.
හිටපු ජනපතිවරයා ජනපතිවරණයට ඉදිරිපත්වන බව මෙලෙස පවසන්නේ දේශපාලන පක්ෂයක් ලෙස මේ වනවිට ශ්‍රීලනිපය බිඳී විසිරී ඇති පසුබිමකදීය.