miss-call-usa

ඇමරිකාවේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් 6,70,000 ක මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලිසිය කියයි.



හලාවත - කුරුදුවත්ත පදිංචි විදුලි කාර්මිකයෙකු වන තංගරාජා අජිත් කුමාර (අවු:26) යන අය විසින් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

පසුගිය 23 වැනිදා කිසියම් අයෙකු පැමිණිලිකරුට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර,එම පණිවිඩය අපහැදිලි බැවින් එම අංකයට ඔහු නැවත කතා කර තිබේ. එවිට දුරකතනයට පිළිතුරු දුන් අය කියා ඇත්තේ කඩිනමින් අමරිකාවේ රැකියාවක් ලබා දිය හැකි බවය.

අනතුරුව ඇමතුම්කරු ලබා දුන් ගිණුම් අංකයකට තමන් එදින අවස්ථා 04 කදී රුපියල් 6,70,000 ක මුදලක් තැන්පත් කළ බවද අජිත් කුමාර යන අය පොලිසියට පවසා තිබේ.ඇමරිකාවේ රැකියාව අවශ්‍යනම් තවත් මුදල් බැංකු ගත කරන ලෙසසැකකරු පැවසූ බවත්,තමන් ඊට අකමැති වී මුදල් ආපසු ඉල්ලා සිටියත් මුදල් නොලැබුණු බවත් පැමිණිලිකරු සඳහන් කර තිබේ.

පැමිණිලිකරු මුදල් ලබා දී ඇත්තේ කාහටද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එකී දුරකතන අංකය ක්‍රියා විරහිත කර ඇති බව පොලිසිය කියයි.

ජූඩ් සමන්ත-පුත්තලම