maithripala-sirisena-easter-attack

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අයට පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් මුලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය.



ඒ අනුව වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස විත්තිකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙයි.

මේ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු වෙයි.

ඊට අමතරව රජය විසින් රුපියල් මිලියනක් වශයෙන් වන්දි ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.ඉතුරෙයිරාජා, එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසයි.



2019 වසරේ අප්‍රේල් මස 21 වන දින පෙරවරුවේ කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයක කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12කට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ විසින් මෙම තීන්දු ප්‍රකාශයට පත් කර තිබේ.

බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න, සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ, සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු, ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක ඇතුළු පිරිසක් විසින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබීය.

2019 වසරේ අප්‍රේල් 21වැනි පාස්කු ඉරිදා ප්‍රහාරය කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පහේ හෝටල් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 269 දෙනෙක් මියගොස් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබ තිබිණි.