health-ministry-v8

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක භාවිත කරන වී 8 වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයක් එහි ප්‍රවාහන අංශයේ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශ භූමියේදී ඇගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියේ ඊයේ (24) සවස උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ප්‍රවාහන අංශ නිලධාරීන් පිරිසක් මෙම ජීප් රථයට පිටවීමට නොහැකි වන අයුරින් අමාත්‍යාංශයේ ගේට්ටු වසා දැමීමත් සමග එම උණුසුම් තත්ත්වය හටගත් බව එහි ආරංචි මාර්ග පවසයි.

අතිරේක ලේකම්වරිය භාවිත කරන මෙම “වී 8” වර්ගයේ ජීප් රථය සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයට අයත් එකක් බවත්, එම රථය නැවත බාර දෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇයට ලිඛිතව දැනුම් දී තිබුණ ද එම රථය නැවත බාර දීම ප්‍රතික්ෂේප කර ඇති බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මෙම රථය බාර දී ඒ වෙනුවට “පෝෂේ” වර්ගයේ රථයක් ලබා දීමට යෝජනා කර තිබුණ ද ඇය එම යෝජනාව ද ප්‍රතික්ෂේප කර ඇති බව අමාත්‍යාංශය ආරංචි මාර්ග කියයි.



තත්ත්වය මෙසේ තිබියදී අමාත්‍යාංශ බලධාරීන් එහි ප්‍රවාහන අංශ නිලධරීන් වෙත කළ දැනුම් දීමකට අනුව ප්‍රවාහන අංශ සාමාජිකයන් මෙම රථයට පිටතට යාමට නොහැකි වන අයුරින් අමාත්‍යාංශයේ ගෙට්ටු ඊයේ සවස වසා දමා තිබීම හේතුවෙන් අතිරේක ලේකම්වරිය හා ප්‍රවාහන අංශ නිලධාරින් අතර බහින් බස් වීමක් සිදු වූ බවද එම ආරංචි මාර්ග පවසයි.අතිරේක ලේකම්වරිය එහිදී ප්‍රවාහන අංශ නිලධාරීන් ට දැනුම් දී ඇත්තේ තමන් ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක' බවත්, ඒ අනුව තමන් වෙත මෙම ජීප් රථය අමාත්‍යාංශයෙන්ම නිකුත් කළ එකක් බවත්ය. පසුව ඇය එම මෝටර් රථයෙන්ම අමාත්‍යාශයෙන් පිටව ගිය බවද එම ආරංචි මාර්ග පවසයි.


ඉන්දිකා රාමනායක