ganja-police

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබාගන්නන් අත්අඩංගුවට ගැනීමට හෝ නඩු පැවැරීමට පොලිසියට කිසිදු බලයක් නැතැයි අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විවෘත අධිකරණයේදී 18 දා ප්‍රකාශ කළේය. 

ආයුර්වේද පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළුව අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලිව සඳහන් කර ඇතැයි පැවැසූ මහේස්ත්‍රාත්වරයා අධිකරණ ශාලාවේ සිටි පොලිස් නිලධාරීන්ට ආයුර්වේද පනත පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක්ද කළේය.මදන මෝදක ගුලි ළඟ තබාගත් පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසිය පැවැරූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ එලෙස අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා විත්තිකරු නිදහස් කිරීමටද නියෝග කළේය.  යාපා බණ්ඩාර නමැත්තකු එසේ නිදහස් කෙරිණි.



කංසා හෙවත් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විසි දෙකක් ළඟ තබා ගෙන සිටි බවට චෝදනා කරමින් පල්ලෙවෙල පොලීසිය විත්තිකරුට එරෙහිව නඩු පවරා ඔහු ඊයේ (18) අධිකරණයට ඉදිරිපත් කළේය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් ආයුර්වේද සංග්‍රහ පනතට අනුව කංසා ඇට හා කොළ ඇතුළුව අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කොට මදන මෝදක නිෂ්පාදනය කරන බව පැහැදිලිව සඳහන් කර ඇති බව කියා සිටියේය.මේ අනුව කංසා හෙවත් ගංජා නොමැතිව මදන මෝදක නිෂ්පාදනය කළ නොහැකි බවත් කංසා හෙවත් ගංජා මිශ්‍ර කර නිපදවා ඇති මදන මෝදක ළග තබාගෙන සිටින හෝ විකිණීම කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට කිසිදු බලයක් නොමැති බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය අමතා පැවැසීය.



ආයුර්වේද පනතට අනුව ආයුර්වේද කොමසාරිස්වරයා බලය පවරන පිරිසකට හැර කංසා හෙවත් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි ළඟ තබාගෙන හෝ විකිණීම කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට කිසිදු  බලයක් නොමැති බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කරමින් එසේ විත්තිකරු නිදහස් කිරීමට නියෝග කළේය. අත් අඩංගුවට ගෙන ඇති කංසා හෙවත් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විසි දෙක නිදහස් කරන ලද පුද්ගලයාට මුදාහැරීමට ද පල්ලෙවෙල පොලීසියට  නියෝග කෙරිණි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා පල්ලෙවෙල පොලීසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් ජී. පී. ඒ. කුමාර මහතා ඇතුළුව විවෘත අධිකරණයේ සිටි වෙනත් පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හට ද ආයුර්වේද පනත පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරීමක් කළේය.


ආනන්ද ඉ. ජයකොඩි