cricket-issue

1973 අංක 25 දරන ක්‍රීඩා පනතට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක් කළ නව රෙගුලාසිවලට එරෙහිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි සාමාජිකයන්ගෙන් අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ඒ අදාළ රෙගුලාසි පිළිබඳ විරෝධය දක්වන ලෙස ඉල්ලමිනි.මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම සැකසූ ලිපියක් සාමාජිකයන් වෙත යොමු කර ඇති අතර, ඊට අත්සන් කර ක්‍රිකට් ආයතනයට ලැබීමට සලස්වන මෙන් ඉල්ලීමක්ද කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගම් සහ අනුබද්ධිත ක්‍රීඩා සමාජ කිහිපයක් මේ වන විටත් එයට අත්සන් කර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබීමට සලස්වා ඇතැයි වාර්තා වේ. මෙරට තුළ පවතින ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් මේවනවිටත් එම ලිපි යැවීම පිළිබඳව ඔවුන්ගේ විධායක කමිටුව සමගින් සාකච්ඡා කරමින් සිටින බවද අනාවරණය වේ. ඊට කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක්ද ඇතුළත් වීම සුවිශේෂිය.

'යෝජිත රෙගුලාසි පිළිබඳ අපගේ කනස්සල්ල' යන මාතෘකාව යටතේ මෙම ලිපි නිකුත් කර ඇති අතර,

අමාත්‍යවරයා නිකුත් කළ නව රෙගුලාසිවලට මෙමගින් අප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බහුතරයක් සාමාජිකයන් වෙත යොමු කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 'දැනට පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යුහයේ පුළුල් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට අපේක්ෂා කරන අමාත්‍යවරයා, ප්‍රකාශයට පත්කර ඇති රෙගුලාසි පිළිබඳව අපගේ අප්‍රසාදය පළකිරීමට මෙම ලිපිය ලියන්නෙමු. මෙම පුළුල් රෙගුලාසි අපගේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදයට අනවශ්‍ය ඇගිලි ගැසීම් මගින් මෙම ආයතනයේ සාමාජිකයන් ලෙස අපගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන්ට අහිතකර බලපෑමක් ඇතිකරනු ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු හැසිරවීමට හැකියාව ඇතැයි අප විශ්වාස කරන අය තෝරා ගැනීමේ අපගේ අයිතියට එමගින් අහිතකර බලපෑමක් වේ.

යෝජිත රෙගුලාසි යටතේ පවතින ඡන්ද ව්‍යුහය වෙනස් කිරීමෙන් සාමාජිකයන් වශයෙන් අප මෙතෙක් ක්‍රියාත්මක කරමින් සිටි සහ භුක්ති විඳි අයිතිවාසිකම්  කප්පාදු කරනු ඇතැයි අප කනස්සල්ලට පත්ව සිටිමු. කිසිදු උපදේශනයකින් තොරව මෙම රෙගුලාසි හඳුන්වා දී ඇති ආකාරය පිළිබඳව අපගේ අප්‍රසාදයද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වශයෙන්, විශේෂයෙන්ම අයිසීසීය විසින් පනවන ලද සාමාජික වගකීම් අනුව,

මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳවද අපි සැලකිලිමත් වෙමු. ඔබ ඉතා හොඳින් දන්නා පරිදි මෑත අතීතයේදී ICC සාමාජික වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්, විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට රජය විසින් කරන ලද ඇඟිලිගැසීම් හේතුවෙන් එහි සාමාජිකයන්ට තීරණ ගැනීමට අනුමැතිය ලබා දී  ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වශයෙන් අපගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන් උල්ලංඝනය කරන මෙම රෙගුලාසිවලට අභියෝග කිරීමට සහ මෙම ගැටලු විසඳීම සඳහා ගෙන ඇති හෝ ගැනීමට යෝජිත ක්‍රියාමාර්ග පිළිබඳව සාමාජිකයන් යාවත්කාලීන කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු' ලෙස එම ලිපියෙන් ඉල්ලීමක් කර තිබේ.  මේ වන විට මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි සියලුම සාමාජිකයන් වෙත යොමු කර ඇති අතර, මෙම සතිය තුළදී ඊට අදාළ අත්සන් ලබාගැනීම අවසන් කරනු ඇතැයිද වාර්තා වේ.
 පැතූම් ශ්‍රී විජේරත්න