beruwala-incident

බේරුවල පාසලක 7 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට අමානුෂික ලෙස වේවැලකින් පහර දුන් බව කියන එම පාසලේ ගුරු හිමි නමක 20 දා අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර ඇතිවු දබරයක් මුල්කරගෙන පන්තිභාර ගුරු හිමිනම ඉන් එක් සිසුවකුට මෙසේ දඬුවම් ලෙස අමානුෂික අයුරින් වේවැලෙන් පහරදී ඇති බව එම සිසුවාගේ මව බේරුවල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.



එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ ගුරුවරයකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම හිමි නම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.  පහර කෑමට ලක්වූ සිසුවා සහ එම පන්තියේම තවත් සිසුවකු අතර පාසල් ක්‍රීඩාපිටියේ දී ඇති වූ අඩදබරයක් හේතුවෙන් මෙම සිසුවාට මෙසේ පහර  දී ඇති බව විමර්ශන සිදුකළ පොලීසිය කියයි.



මේ වන විට එම සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.පහර කෑමට ලක්වූ සිසුවා බේරුවල පොලිස් වසමේ පදිංචිකරුවකු බවත් සැකකාර හිමි නම වෙනත් පොලිස් වසමක වැඩ වෙසෙමින් එම පාසලේ දරුවන්ට ඉගැන්වීම සඳහා වැඩම කරන බව බව පොලිසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුහිමියන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තුසිත කුමාර ද සිල්වා