aththanagala-incident

අධිකරණ නියෝගයකට අනුව ළමා නිවාසයකට භාරදී ඇති දරුවෙකු නිවාඩු මාසයේ නිවසට රැගෙන යන ලෙසට එහි පාලනාධිකාරිය විසින් එම දරුවාගේ මවට දුරකථන ඇමතුමක් දුන්නා යැයි කියන සිද්ධියක් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (17දා) පස්වරුවේ අත්තනගල්ල පරිවාස නිලධාරිනියට නියෝග කළේය. අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව පිරිමි දරුවෙකු කළුතර, මග්ගොන ප්‍රදේශයේ ළමා නිවාසයකට ඇතුළත් කොට සිටී.



එම දරුවා අධිකරණයට භාර දීමට අදාළ නඩුව පෙරේදා (17දා) පස්වරුවේ මෝසමක් මගින් නැවත කැඳවූ අවස්ථාවේ නීතීඥ හර්ෂිකා ජයන්ති මහත්මිය කරුණු දක්වමින් එම දරුවා නිවාඩු කාලයේ නිවසට රැගෙන යන ලෙසට ළමා නිවාසයේ පාලනාධිකාරිය විසින් ඔහුගේ මවට දුරකථන ඇමතුමක් දී ඇති බව කියා සිටියේය.  දරුවා නිවසට රැගෙන විත් රැක බලා ගැනීමට මවට හැකියාවක් නොමැති හෙයින් වෙනත් සුදුසු ළමා නිවාසයකට එම දරුවා භාර දීමට අධිකරණයේ අවධානය යොමු කරන මෙන්ද නීතීඥවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියාය.



මෙහිදී මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි එම දරුවාගේ මව විවෘත අධිකරණය ඉදිරියට පැමිණ ළමා නිවාසයේ පාලනාධිකාරියේ පුද්ගලයෙකු දරුවා නිවාඩු කාලයේ නිවසට රැගෙන යන ලෙසට දුරකථන ඇමතුමක් දුන් බව කියා සිටියාය.  මෙහිදී මහේස්ත්‍රාත් වරයා විවෘත අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් අධිකරණ නියෝගයකට අනුව ළමා නිවාසයට භාරදී ඇති දරුවා නිවාඩු කාලයේ නිවසට රැගෙන එන ලෙසට අධිකරණය නියෝග කර නොමැති බව කියා සිටියේය.

එම දරුවා නිවසේ තබා ගෙන රැක බලා ගෙන අධ්‍යාපන කටයුතු වලට යොමු කිරීමට මවට නොහැකි නිසා පරිවාස වාර්තාව අනුව අධිකරණයේ නියෝග පරිදි දරුවා ළමා නිවාසයට භාර දී ඇති බවත් ඒ අනුව මොනම හේතුවක් මතවත් දරුවා නිවාඩු කාලයේ නිවසට රැගෙන යන ලෙසට දැන්විය නොහැකි බවද මහේස්ත්‍රාත් වරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.

ආනන්ද ඉ. ජයකොඩි