
එක්සත් ජනපදය වෙත බලපා ඇති දරුණු ශීත කාලගුණික තත්ත්වයත් සමග එරට ජනතාව දැඩි පීඩාවට පත්ව ඇතැයි වාර්තා වෙයි. ආක්ටික් කලාපය හරහා හමාඑන ශීත සුළි කුණාටු මෙම තත්ත්වය ඇතිකර තිබේ. මේ හේතුවෙන් එරට ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40කටත් වඩා අඩු අගයකට පත්ව ඇති අතර, ස්ථාන රැසක ජලය මිදීමට ලක්ව ඇතැයිද සඳහන් වෙයි.මේ අතර එරට මහා මාර්ග රැසක්ම හිමවලින් වැසීයාමත් සමග මෝටර් රථ රියැදුරන් සඳහා වඩාත් අනතුරුදායක ස්ථානයක් බවටත් පත්ව තිබේ. ස්ථාන රැසක ගස් ඉදිරි වැටීම්ද සිදුව තිබේ. පසුගිය සෙනසුරාදා පමණක් එරට ප්‍රාන්ත අටක් පුරා සිදුවූ මෝටර් රථ අනතුරු හේතුවෙන් 17දෙනෙකුට ජීවිත අහිමි වී තිබේ. ඒ අනුව ඊයේ දිනය වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ නැග තිබේ.
මෙම දරුණු කාලගුණික තත්ත්වය 'බෝම්බ් සයික්ලෝන්' ලෙසින්ද නම් කෙරි තිබේ. මෙය එක්සත් ජනපදය ඇතුළු උතුරු අමෙරිකානු කලාපය වෙත දශක කිහිපයකට පසුව ඇතිවූ දරුණුතම ශීත කාලගුණික තත්ත්වය ලෙසින්ද සැලකෙයි. මේ හේතුවෙන් එක්සත් ජනපදය තුළ පමණක් මේ දක්වා ගුවන් ගමන් 2,300ක් අවලංගු කර ඇති අතර, තවත් ගුවන් ගමන් 5,300ක් කල් දමා තිබේ. ඒ අනුව නත්තල් සමය සහ නව අවුරුදු නිවාඩුව වෙනුවෙන් සංචාරයේ නිරත වීමට සිටි බොහෝ පිරිසකට මින් බලපෑම් එල්ල වී තිබේ. එසේම පවතින තත්ත්වයත් සමග නැගෙනහිර එක්සත් ජනපදයේ ප්‍රදේශ රැසක් වෙත විදුලිය සැපයීමද ගැටලුවක් බවට පත්ව තිබේ. එසේම උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ජනතාවගේ අධික විදුලි ඉල්ලුමත් සමග විදුලි සැපයුම් පද්ධතිය වෙත බලපෑම් එල්ල වී තිබේ.
මේ හේතුවෙන් නිවාස රැසක විදුල් උදුත් ක්‍රියාත්මක කිරීමත් අපහසු වී ඇත.මේ අතර එක්සත් ජනපද කාලගුණික බලධාරීන් සඳහන් කරන ආකාරයට ඉරිදා දිනය ඇතුළුව ඉදිරි දින කිහිපයේදී මෙම ශීත කාලගුණික තත්ත්වය තවදුරටත් දරුණුවීමේ අවස්ථාවක් පවතී. එහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 57ක් බවට පත්වනු ඇතැයිද පුරෝකථනය කෙරි ඇත.