
කොහොමද මේ දවස් වල තොරතුරු?
ඇත්තටම මම මේ දවස් වල කොළඹ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සමීක්ෂණ පිලිබඳ පශ්චාත් උපාධියක් හදාරනවා.. අධ්‍යාපන කටයුතු හේතුවෙන් කාර්‍යබහුල වීම නිසා නත්තල් වැඩසටහන් වෙනුවෙන් කල ආරාධනාවන් රාශියක් ප්‍රතික්ෂේප කළා.. නමුත් නාට්‍ය වලට අමතරව 31 රෑ වෙනුවෙන්ම සැකසෙන රූපවාහිනී වැඩසටහන් කිහිපයකට පමණක් තෝරා බේරා ගෙන සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..
පහුගිය කාලයේදී අරගලය සම්බන්ධව කතා වෙද්දී ඔබ ගැනත් බොහෝ අවස්ථාවල කතාවුනා. ඇයි ඔබ වගේ ප්‍රවීණ නිළියක් අරගලයට සම්බන්ධ වුනේ?
මම අරගලයට සම්බන්ධ වුනේ මගේ බඩගින්න ගැන හිතලා නෙමෙයි.. මම අදහන දෙයක් තමයි කලාකරුවන් විදියට අපි උත්සහ කරන්න ඕනේ කලා නිර්මාණ වලින් උත්තරීතර පණිවිඩයක් සමාජයට ලබා දෙන්න.. කලාව විතරක් නෙමෙයි මේ ඇතිවුන අර්බුධය නිසා හැම පැත්තටම පහරක් වැදුනා.. මම අරගලයට එන්නේ ගෝල් ෆේස් එකෙන් නෙමෙයි.. කොහුවල, දියත උයන ලගින් අපි අරගලය පටන් ගත්තා.. රජයක් වුනාම ඒ රජයට පුලුවන් වෙන්න ඕනේ අවම වශයෙන් මානව හිමිකම් ටිකවත් රටේ මිනිස්සුන්ට ලබාදෙන්න.. ඒ කියන්නේ මිනිස්සුන්ට කාලා බීලා ඉන්න පුළුවන් සමාජයක් ඇති කරන්න ඕනේ.. හැබැයි ඒ වගේ සමාජයක් මේ රජය විසින් බිහිකලාද?සූරාකෑම, හොරකම, දූෂණය නිසා අපේ රට උද්ධමනයෙන්, මන්දපෝෂනයෙන් උඩටම ඇවිල්ලා.. මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් අදටත් දවසකට බිලියන එකහමාරක හොරකමක් වෙනවා..මම පාරට බැස්සේ මේ සිස්ටම් එකට විරුද්ධව.. ඒ බැස්සෙත් දමිතා අබේරත්න කියන නිළිය විදියට නෙමෙයි.. මේ රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙක් විදියට..
අරගලයෙන් ඔබ බලාපොරොත්තු වුන දේ ලැබුනා කියලා හිතනවද?
එන එන නායකයන්ට එරෙහිව නැගිටින්න අපි අරගලයට ගියේ නෑ.. රජයකට, පාර්ලිමේන්තුවකට කරගන්න බැරි දේවල් ගොඩක් අරගලය හරහා අපි කළා.. ජනාධිපති, අගමැති හෙල්ලුනා.. කැබිනට් එකක් ගෙදර ගියා.. මහබැංකු අධිපති ගෙදර ගියා..මේ රට මෙහෙම හරි ඉතුරු වුනේ අරගලය කරපු හින්දා..එහෙම බැලුවාම මම හිතනවා අරගලයෙන් කරගන්න බලාපොරොත්තු වෙච්ච දේ අපි කළා කියලා..
වර්ථමානයේ මේ ආර්ථික අර්බුධය ඔබ සිතන විදියට කාන්තාවකට බලපාන්නේ කොහොමද?
ලංකාවේ පවුලක ගෘහමූලිකයා තාත්තා වුනත් අම්මා තමයි නිවස පාලනය කරන්නේ.. ඉතින් ගොඩාක් අවස්ථාවල මුදල් කළමණාකරනය කෙරෙන්නෙත් අම්මාගේ අතින්.. නමුත් මේ අර්බුධය නිසා හැමදේකම මිල වැඩිවෙලා තියෙනවා.. ඉස්සර රු.5000කට ගත්ත නිවසකට අවශ්‍ය බඩු ටික දැන් ගන්න රු.15,000ක් වත් යනවා..මේ තත්ත්වය හින්දා ගොඩක් ගෙවල් වල හැදෙන්නේ එක එළවළුවකුයි බතකුයි විතරයි..බිත්තරයක් එහෙම ලමයෙක්ගේ කෑම එකකට එකතු කරන එකත් අද ප්‍රශ්නයක් වෙලා.. මේ හැමදෙයක්ම දරාගෙන පවුලේ සතුටත් රැකගෙන, මාසෙ අන්තිමට කීයක් හරි ඉතුරු කරගන්නත් ගෘහණියන් දරන උත්සාහය, අපි ඇත්තටම අගය කරන්න ඕනෙ.. සමහරවිට අරගලයට කාන්තාවන් විශාල පිරිසක් ආවෙත් මේ හින්දා වෙන්නත් පුලුවන්..
ඔබ මේ දවස් වල රගපාන චන්දෝලි නාට්‍ය ගැනත් සදහනක් කලොත්?
චන්දෝලි කියන්නේ සම්මානනීය අධ්‍යක්ෂිකාවක් වන තුෂාරි අබේසේකරගේ තවත් වෙනස් විදියේ නිර්මාණයක්..මෙහි කතාව ගොඩනැගෙන්නේ ජීවිත අරගලය තුල යම් යම් පීඩනයන්, අසාධාරණකම් හමුවේ අසරණ වෙච්ච කාන්තාවන් පිරිසක් වටා.. මම මේ නාට්‍යයේ නිරූපණය කරන්නේ මහන්තාගේ චරිතය.. මේ වගේ කාලයක මහන්තා වගේ ප්‍රබල චරිතයක් නිරූපණය කරන්න ලැබුණු එක ගැන මම ඇත්තටම සන්තෝස වෙනවා..
සාම්ප්‍රදායික නාට්‍යයක් එක්ක ගත්තොත් චන්දෝලි නාට්‍යයේ තියෙන වෙනස මොකක්ද?
නාට්‍ය කියන කේෂ්ත්‍රය ගත්තොත් කාලයෙන් කාලයට එක එක විදියේ රැලි නිර්මාණය වෙනවනේ.. උදාහරණයක් විදියට කිව්වොත් ඉතිහාසය පදනම් කරගෙන නාට්‍යක් අධ්‍යක්ෂකවරයෙක් නිර්මාණ්ය කලොත් අනෙක් අධ්‍යක්ෂකවරුත් ඒ වගේම නාට්‍ය නිර්මාණය කරනවා.. ආදර කතාවක් කෙනෙක් හැදුවොත් අනෙක් අයත් ඒ වගේම ආදර කතාවක් හදනවා.. මං චන්දෝලි දකින්නේ වර්ථමානයේ පවතින ඒ රැල්ල කඩාගෙන ආපු එක නාට්‍යක් විදියට..
චන්දෝලි නාට්‍ය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හිතාගන්නවත් බැරි තරමේ හොද ප්‍රතිචාර සමාජ මාධ්‍ය හරහා ලැබෙනවා..මග තොටේදී මුනගැහෙන ගොඩාක් අය කියන්නේ අර බුලත් කන චරිතේ නම් මරු කියලා..
09.ඔබත් එක්ක චන්දෝලි නාට්‍ය හා සම්බන්ධ වෙලා ඉන්න අනෙක් නලු නිළියන් ගැනත් කතා කලොත්?
නම් වශයෙන් කිව්වොත් බුද්ධික ජයරත්න , මාධවී ඇන්තනී, හිමාලි සිරිවර් ධන, නිරෝෂා තලගල, නිල්මිණී කෝට්ටේගොඩ, රංගි රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ මෙන්ම නවක නළු නිළියන් රාශියක් සම්බන්ධ වෙනවා.. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සියළු දෙනාම තමන් නිරූපණය කරන චරිතයට,භූමිකාවට හිතාගන්නවත් බැරි තරමේ සාධාරණයක් ඉෂ්ඨ කරනවා.. චන්දෝලි කියන්නේ ගලාගෙන යන ජලයට.. ඉතින් මේ ජලය ප්‍රේක්ෂකයන්ට නැවුම්ම ආශ්වාදයක් දෙමින් සාර්ථකව ගලාගෙන යන්නට මේ නළුනිළියන් සියල්ලන්ගේම දායකත්වය විශාල වශයෙන් බලපෑවා කියන එක තමයි මගේ මතය..
චන්දෝලි වගේ නාට්‍යකින් සමාජය තුල වෙනසක් ඇති කරන්න පුලුවන් කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම..අපි මේ කතාවෙදි කතාකරන්නේත් එක්තරා විදියක අරගල ගොඩක් ගැනනේ.. චන්දෝලි බැලුවොත් තේරෙයි ඒ අරගල ජයගන්න මිනිස්සු කොයි තරම් දේවල් කරනවාද කියලා.. උප්පත්තියේ ඉදන් මැරෙන මොහොත වෙනකම් ඉන්න කාලෙට මනුස්සයන් විදියට අපි හැමෝම හොයන්නේ සැනසීම කියන එක.. ඒ සැනසීම කියන දේ හොයාගන්න, මේ චන්දෝලි කියන නාට්‍යයේ ඉන්න චරිත ටික වැඩ කරන්නේ කොහොමද කියන එක තුලින්ම අපිට වර්තමානයට ගැලපෙන ආකාරයේ ආදර්ශ බොහොමයක් ගන්න පුලුවන්..
චන්දෝලි නාට්‍ය තුලින් සමාජයට දෙන පණිවිඩය ගැනත් කිව්වොත්?
සරලව කිව්වොත් අපි හැමෝම දන්නවනේ ජීවත් වීම කියන්නෙම අරගලයක් කියලා.. සමහරු මුහුණදෙන්නට සිදුවෙන ප්‍රශ්න හමුවේ වැටෙනවා.. තමත් සමහරු ඒ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණදීලා නැගිටිනවා.. මං හිතන්නේ චන්දෝලි කියන නාට්‍යයෙන් දෙන පණිවුඩයත් ජීවිතයට එන ලොකු කුඩා ප්‍රශ්ණ හැම එකකටම මුහුණදීලා අපි සාර්ථකව ඉස්සරහට යන්න ඕනේ කියන එක..
චන්දොලි නාට්‍යට අමතරව ඔබ තව සම්බන්ධ වන අනෙකුත් නිර්මාණ ගැනත් සදහන් කලොත්?
මේ දවස් වල සිරස ටීවී නාළිකාවේම විකාශණය වෙන හිතලග හිනැහුනා නාට්‍යයේ නැනෝ අම්මාගේ චරිතය මම නිරූපණය කරනවා.. ඊට අමතරව සුපුන් රත්නායක විසින් නිශ්පාදනය කරන අළුත් නාට්‍යකයට සම්බන්ධ වෙලා ඉන්නවා.. ඉතාමත් ඉක්මනින් ඒ නාට්‍යත් ප්‍රේක්ෂකයින්ට දැකබලා ගන්න පුලුවන් වෙයි..
ඔබ අරගලයට සම්බන්ධ වෙච්ච කාන්තාවක් විදියට සමස්ථ සමාජයේම ඉන්න කාන්තාවන්ට දෙන පණිවිඩය කිව්වොත්?
අපි ලංකාව හදුන්වන්නේ මාතෘභූමිය කියලානේ.. මම මේ අරගලයට සම්බන්ධ වුනේ මගේ දරුවන්ගේ නෙමෙයි රටේම දරුවන්ගේ බඩගින්න නිවන්න හිතාගෙන.. මම අරගලය එක්ක අවංකවම ජීවත් වුනා..කොයි තරම් ප්‍රශ්න අතරමැදදී ආවත් මම කොයිම වෙලාවකවත් අරගලය දාලා ගියේ නෑ.. කොයි තරම් අපහාස ආවත් මම කිසිම වෙලාවක සැලුනේ නෑ.. මට අපේ රටේ කාන්තාවන්ට කියන්න තියෙන්නෙත් අපි චන්දෝලියක් වෙමු කියන එකම තමා.. ඉදිරියට යද්දී ගල්පර හමුවෙයි..සෙවල අහුවෙයි.. ඒ තැන්වලදී කකුල පැටලිලා අපිව වැටෙයි.. තුවාල වෙයි.. ඒත් ඒ හැම බාධකයකටම සාර්ථකව මුහුණ දීලා අපි චන්දෝලියක් වගේ ඉස්සරහට යමු.. ගමනාර්ථය වුනත් ලස්සන වෙන්නේ අන්න එතකොට..
Youtube Playlist Link - Chandoli (චන්දෝලි) | 👉 https://bit.ly/3XGD8I3