ujitha-grade10-ol-a9

හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලැබු සිසුවෙක් පාසලෙන් ඉවත් වී 2021 වසරේ පැවති අපොස සමාන්‍ය පෙල විභාගයට පෞද්ගලිකව පෙනී සිට A සමාර්ථ 9ක් ලබාගනිමින් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ පුවතක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා විය.

හැටන් විල්ප්‍රඩ්පුර ප්‍රදේශයේ පදිංචි බොරල ලියනගේ උජිත චිත්මාල් ඉරංජින් සිසුවා වසර 08 කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබා 2016 වසරේ දිවයිනට පැමිණි අයෙකි.



එම සිසුවා ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයෙන් පහේ ශිෂ්‍යත්වයට පෙනි සිට එම විභාගයෙන්ද  169 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් ව තිබූ අතර අනතුරුව 9 වසරේ සිට හැටන් ශ්‍රි පාද ජාතික පාසලේ 10 වසරේ මුල් කාර්තුව දක්වා අධ්‍යාපනය ලබා 2021 වසරේ අපොස සමාන්‍ය පෙල විභාගය පැවැත්විමට ප්‍රථම පාසලෙන් ඉවත්ව එම විභාගයට පෞද්ගලිකව පෙනී සිට ඇත.

උජිත චිත්මාල් ඉරංජින් සිසුවා සිය ජයග්‍රහණය ගැන මෙලෙස අදහස් දැක්වූවා.

“මගේ තාත්තා ගණිත ගුරුවරයෙක් මව හැටන් ගේබ්‍රියල් පාසලේ ඉංග්‍රිසි ගුරුවරියක් මට අක්කා කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා.

අක්කා 2023 වසරේ අපොස උසස්පෙල පෙනි සිටින්න සුදානම් වෙනවා. මම දෙමව්පියන්ට කිව්වා නියමිත කාලයට ප්‍රථම අපොස සමාන්‍යපෙල විභාගයට පෙනි සිටින්න ඕනි කියලා.

රජයේ පාසලක අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට අධ්‍යාපනය ලබමින් සිටියදි පෞද්ගලිකව විභාග අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටින්න බැරි නිසා මම පාසලෙන් ඉවත්වෙලා අපොස සපෙල විභාගයේ සියලුම විෂය නිර්දේශයන් සම්පුර්ණයෙන්ම ආවරණය කරලා විභාගයට පෙනි සිටියා.



ඒ සදහා මගේ ගුරුවරුන්ගෙනුත්, මගේ දෙමව්පියන්ගෙන් සහ සහෝදරියන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා.

මගේ කැපවිම , උනන්දුව , අධිෂ්ඨානය තිබුණ නිසා මගේ තාත්තයි අම්මයි මට උපරිම සහයෝගය ලබා දුන්නා.

2023 වසරේ මම අපොස උසස්පෙල විභාගයට ජිව විද්‍යා අංශයෙන් පෙනි සිටින්න සුදානම් .

මගේ බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන්න.”

එම සිසුවාගේ මව වන ඉන්දිකා සුදර්ශනි මහත්මිය අදහස් දැක්වමින් මෙලෙස කියා සිටියාය.

“මමයි මගේ මහත්තයයි දෙන්නම ගුරුවරුන්. මහත්තයා දැන් ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා ව්‍යාපාර කටයුතු වල නියැලි සිටිනවා.
මගේ ළමයි තුන්දෙනා ඉගෙන ගන්න හරිම දක්ෂයි. දෙමව්පියන් වශයෙන් එම දරුවන් තිදෙනාගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒ අනුව ඉදිරියට යන්න අපි කටයුතු කලා.
මගේ පුතා විශිෂ්ට ලෙස අපොස සමාන්‍යපෙල විභාගය සමත්විමට රජයේ පෙලපොත් සම්පුර්ණයෙන්ම පරිශිලනය කරා.



ඊට අමතරව බාහිර පන්ති වලට සහභාගි වුණා. එයාට ඉගැන්විම් කටයුතු සිදු කර සියළුම ගුරුවරුන්ද පුතාගේ දක්ෂතාවය හදුනාගෙන ඔහුට උදව් කලා.

මෙවැනි දක්ෂ දරුවෝ රටේ ඕනි තරම් ඉන්න පුළුවන්. ඒ අයට නියමිත කාලයට කලින් විභාගයට පෙනි සිටින්න නිතියෙන් ඉඩක් නැ.

හැබැයි පෞද්ගලික පාසල් වල අධ්‍යාපනය ලබන සිසුන්ට එම අවස්ථාව තියෙනවා.

ඒ අනුව එම නිතිමය ගැටළුව විසදාදිමට රජයේ වගකිය යුතු නිලධාරින් කටයුතු කලහොත් අධ්‍යාපනයට දක්ෂතා ඇති දරුවන්ගෙන්  රටට විශාල සේවාවක් ලබා ගන්න පුළුවන්.”