sri-pada-police

අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් ශ්‍රී පාදය වන්දනා කිරීමට සහභාගී වන වන්දනාකරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.



පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවය.

මෙවර ශ්‍රී පාද වන්දනා සමය හෙට (07) දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වන අතර එය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය දක්වා පැවැත්වේ.

ශ්‍රී පාද වන්දනා සමය තුළ අදාළ ප්‍රදේශයේ සිදුවන පරිසර හානිය අවම කර ගැනීම සඳහා විශේෂ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් අධිකාරී මනෝජ් පෙරේරා මහතා සඳහන් කළේය.

“පොලිතින් තවත් කෙනෙකුගේ සෞඛ්‍යට අහිතකර වෙන විදියට බැහැර කරන එක තමා වරදක් වෙන්නේ.

ඒ වරද වෙනවා නීතියේ අවස්ථා දෙකක දී. මාර්ගයට පොලිතින් බැහැර කරනවා නම් පොලිස් ආඥා පනත යටතේ 63වන වගන්තිය යටතේ වරදක්. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න පුළුවන්. මංමාවත් පනත යටතේ රුපියල් 5,000ක් දඩ ගහනවා. එහෙම නැතුව මාර්ගයක් නොමැති තැනකට බැහැර කරනවා නම් කසළ විදියට දණ්ඩ නීති සංග්‍රහයේ 163වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. මහජන සෞඛ්‍යට තර්ජනයක් වෙන ආකාරයෙන් ක්‍රියාකිරීම. මෙතන වැදගත් වෙන්නේ සිරිපාදේ ගිහින් නඩුවක් අරගෙන එන එක නෙමේ. වැදගත් වෙන්නේ ඒ පරිසර පද්ධතිය ආරක්ෂාකරගෙන එන එක.”