selfie-theft-caught

මහ මග ගමන් ගත් තරුණියකගේ ගෙළට තියුණු ආයුධයක් තබා මරණීය තර්ජනය කොට රන් මාලයක් කොල්ල කන අවස්ථාවේදී ඉතා සූක්ෂම ලෙස තරුණිය අත තිබූ ජංගම දුරකතනයෙන් ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් ආධාරයෙන් කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් දහයයි මිලි ග්‍රෑම් හයසිය පනහක් ද හමුවූ බව පොලිසිය පැවසීය.

හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරී කණ්ඩායමක් හෝමාගම පිටිපන, සුවපුබුදුගම ප්‍රදේශයේ සෝදිසි මුර සංචාරයක යමින් සිටියදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු යමින් සිටි යතුරුපැදියක් නවතා පරික්ෂා කිරීමේදී එහි සිටි එක් පුද්ගලයෙකුගේ කලිසම් සාක්කුවේ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 400 ද අනිත් පුද්ගලයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 250 තිබී හමුවූ බව පැවසේ.



පසුව සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී පසු පැදිකරු සන්තකයේ තබා ගෙන සිටි උල් පිහියක් ද භාරයට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා යතුරු පැදියද සමග අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් තවදුරටත් පරීක්ෂා කිරීමේදී එහි සිටි එක් පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියේ තිබී රුපියල් ලක්ෂයකට උකස් කරන ලද රන් මාලයකට අදාල රිසිට් පතක් හමු වී ඇත.

ඒ සම්බන්ධයෙන් දිගින් දිගට ම ප්‍රශ්න කිරීමේදී එම රන් මාලය කහතුඩුව පොලිස් වසමේදී කාන්තාවකට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා කොල්ල කන ලද රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව, රුපියල් ලක්ෂයකට උකස් කර තිබූ රන් මාලය පොලිසිය මගින් සොයාගෙන ඒ සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය දැනුවත් කිරීමේදී එහි තිබූ සෙල්ෆි ඡායාරූපයක් පරික්ෂා කිරීමේදී එහි සිට ඇත්තේ හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.



අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ උල් පිහිය රන් මාල කොල්ල කෑමේ දී කාන්තාවන් බිය ගැන්වීමට භාවිත කරන උල් පිහිය බව ද පැවසේ.

සැකකරුවන් දෙදෙනා හෙරොයින් හා රන්මාල කොල්ලකෑම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලැබූවන් දෙදෙනෙකු බව කියයි.

අත්අඩංගුවට ගත් හෝමාගම පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි “හරා” නමැත්තා සහ ඔහුගේ සහායකයා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් මහතාගේ උපදෙස් මත, දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මක ය.