podi-lassy-investigation

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී' නමැත්තා නීතිවිරෝධී කටයුතු කරමින් උපයාගත් මුදල් එක්රැස් කර මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වරදක් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (05) කරුණු වාර්තා කර ඇත.



අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී' ඔහුගේ බිරිඳ වන කලුදේව මහිනී මදුසංකී මෙන්ඩිස් යන අයගේ සහ සමීපතම ඥාතීන්ගේ නමින් බැංකු ගිණුම් පවත්වාගෙන යමින් ඒ හරහා සහ ඊෂී කෑෂ් මගින් මුදල් ගනුදෙනු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අංක සී ආර් 3/613/2019 යටතේ නීතිපතිවරයා තම දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කළ පැමිණිල්ලට අනුව 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශනය ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



ඉකුත් 2017 වර්ෂයේ දෙසැම්බර් මස 04 වන දින හෙරොයින් මිලිග්‍රෑම් 3220ක් සන්තකයේ තබාගනිමින් ජාවාරම් කිරීමේ වරද සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 7373/2017 යටතේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එයට අදාළව පොඩි ලැසී නමැත්තාගේ සහ ලද්දුව සුරාජ් පසිදු ලක්ෂාන් සහ ගලගෙදර මුදියන්සේලාගේ ඉසුර ලක්ෂාන් යන අය සම්බන්ධයෙන් ද මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
නිමන්ති රණසිංහ