susil-premajayantha

ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේදී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.ඒ වෙනුවට පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබාදී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂ අවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත

සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු මේ බව පවසා සිටියේ කොළඹ කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ නත්තල් සැමරුම් උත්සවයකට සහභාගි වෙමිනි.

අවශ්‍ය වෙනස්කම් සිදු කර ඉදිරියේදී පාසලෙන් පිට වන දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය හෝ දක්ෂතා හා කැමැත්ත මත කාර්මික විද්‍යාලවලට හෝ ඇතුළත්ව වැඩිපුර පුහුණු සහ අධ්‍යයන අවස්ථා සලසාගත හැකි වැඩපිළිවෙළක්ද සූදානම් කරන බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

නිවාඩු අඩු කර වැඩියෙන් වැඩ කර ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට සියලු විෂය නිර්දේශ ආවරණය කර පාසල් අධ්‍යාපන කටයුතු යථා තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් හා අවශ්‍යතාව පරිදි අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණද නිසි කලට ලබාදීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, අපහසුවෙන් වුව නැගී සිටිමින් දුෂ්කර අවස්ථා ජයගත යුතු බවත් එහිදී විනයගරුකභාවය අතිශයින්ම වැදගත් වන බවත් පවසා සිටියේය.