national-hospital-clark

කොළඹ  ජාතික රෝහලේ වෛද්‍යවරුන් සිවුදෙනකුගේ වැටුප් වංචා කිරීමේ චෝදනාවලට වරද පිළිගත් හිටපු කළමනාකාර සහකාරවරයාට වසර 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් එක්කෝටි හැටහය දහසකට අධික දඩයක්ද ඊයේ (05) පැනවීය. නියම කළ රුපියල් එක්කෝටි හැටහය දහසකට අධික දඩ මුදල ගෙවීමට නොහැකි බව විත්තිකරු දැනුම්දීම නිසා අමතර වසර 04ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද පැනවීය.

මීට වසර 19කට පෙර සිදු කළ මෙම වරද සම්බන්ධ නඩු විභාගය අතරතුර විත්තිකරු චෝදනාවට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ සහකාර කළමනාකරුවකු ලෙස කටයුතු කළ එන්. ක්‍රිශාන්ත ප්‍රනාන්දු නමැත්තාටය.

2003 වසරේදී කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ සහකාර කළමනාකරුවකු ලෙස කටයුතු කරමින් සිටියදී කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සිවුදෙනකුගේ වැටුප් වශයෙන් ගෙවිය යුතු මුදලින් රුපියල් ලක්‍ෂ 33 1/2කට අධික මුදලක් වංචා කළ බවට නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.  2006 වසරේදී විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව නඩුව විභාග කිරීම ආරම්භ කෙරිණි.  මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා  පැමිණීල්ලේ 16 වැනි සාක්කිකරුගේ සාක්කි මෙහෙයවීමට අවසර ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් කොළඹ ජාතික රෝහලේ වැටුප් අංශයේ සහකාර කළමනාකරුවකු ලෙස කටයුතු කළ තම සේවාදායකයාට එරෙහිව පමණක් මෙම නඩුව පවරා ඇතත් කොළඹ ජාතික රෝහලේ තවත් පිරිස් මෙම වංචාවට සම්බන්ධ වී ඇතැයි දැනුම් දුන්නේය. 

කෙසේ නමුත් තම සේවාදායකයා මෙම චෝදනාවට වරද පිළිගන්නේ යැයි දැනුම් දුන් නීතිඥවරයා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි මෙම නඩුව දීර්ඝ කාලයක් පුරා විභාග කර ඇතැයිද විත්තිකරු සිදුකර ඇත්තේ බරපතළ වරදක් වන හෙයින් අන් අයටත් පාඬමක් වන අන්දමට ඔහුට දැඩි දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 06ක සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු වංචා කළ මුදල මෙන් තුන් ගුණයක දඩයක් පැනවීය. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් නියම කළ දඩ මුදල ගෙවීමට තම සේවාදායකයාට හැකියාවක් නැතැයි දැනුම් දුන්නේය. ඒ අනුව දඩ මුදල නොගෙවන්නේ නම් අමතර  වසර හතරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් විත්තිකරුට පැනවිය.

මනෝප්‍රිය ගුණසේකර