mahinda-rajapaksa-may9

ඉකුත් මැයි මස 09 වනදා ගාලුමෝදර පැවති ගෝඨාගෝ ගම අරගල භූමියට කඩා වැදී පහර දීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව පවසමින් අරගලකරුවන් පස් දෙනකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර දී තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජූනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙයි.



ළහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ. විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේෙ
දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවයි. අදාළ පෙත්සම් පිළිබඳ විභාගය 2023 ජුනි මස 22 වනදා සිදු කරන බව දන්වා තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ වග උත්තර කරුවන් ගේ ආධාර කරුවන්  ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට ඉකුත් මැයි මස 09 වනදා කඩාවැදී එල්ල කළ ප්‍රහාරය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවයි.ෙ
ඒ අනුව සාමකාමී අරගලවලට පහර දීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ සඳහා වූ මාර්ගඋපදේශ මාලාවක් සකස් කර ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙයි.



මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නම් කර තිබුණද ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා ගෙන යාමට අපේක්ෂානොකරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු අධිකරණයට දන්වා සිටි නිසා එම නම ඉවත් විය.
පෙත්සම් විභාගය තවත් මාස 7 කින් ලබන ජුනි මස සිදුකරන්නට නියමිතය.