maharagama-spa

මහරගම නගර සභා බල සීමාව තුළ ආයුර්වේද සම්බාහන මුවාවෙන් කාන්තාවන් මුදලට අලෙවි කරන (ස්පා) මධ්‍යස්ථාන පන්සිය හැටඅටක් දැනට පවත්වාගෙන යන අතර ඉන් ස්ථාන රැසක් අවිධිමත් ලෙස පවත්වාගෙන යෑම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව මහරගම නගර සභාවේ (ශ්‍රී.ල.නි.ප) නාගරික මන්ත්‍රී චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය පැවසුවාය. මහරගම නගර සභාවේ මාසික රැස්වීමේදී මන්ත්‍රීවරිය මෙසේ පැවසුවාය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,



“ආයුර්වේද සම්බාහන  මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් නීත්‍යනුකූල අවසරයක් ලබාගත යුතු වුවත් ඉන් ස්ථාන 564ක් එම අවසරය ලබාගෙන නොමැති බවට අනාවරණය වී තිබෙනවා.  ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ස්පා පුවරු ප්‍රදර්ශනය කරමින් මහරගම නගර සභා සීමාව තුළ දැනට මධ්‍යස්ථාන 568 පවත්වාගෙන යන අතර තලවතුගොඩ එකමුතු මාවතේ සිට කලල්ගොඩ දක්වා වූ කිලෝමීටර් දෙකක ප්‍රදේශයේ ස්ථාන 33 පිහිටා තිබෙනවා.

මේවා ආරම්භ කිරීමට පෙර නගර සභාවෙන් වෙළෙඳ බලපත්‍රයක් ලබාගත යුතු වුවත් එම බලපත්‍රය හෝ ලබාගෙන නැහැ. වෙනත් පළාත්වලින් පැමිණී කාන්තාවන් සහ පුද්ගලයන් එක්ව මෙම ස්ථාන පවත්වාගෙන යන අතර ඉන් ප්‍රදේශයේ ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී බවත් පවුල් ආරවුල් පවා හටගෙන ඇති බවත් ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.  දිවා සහ රාත්‍රී කාලයේදී මෙම ස්ථානවල සිදුවන විවිධ අනාචාර සිදුවීම්වලට බාලවයස්කාර දරු දැරියන් ද සම්බන්ධ වී ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතයටද ඔවුන් යොමුවී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.



මේ සම්බන්ධයෙන් මහරගම කොට්ටාව තලංගම හා මිරිහාන පොලිස් ස්ථාන නිද්‍රාශීලී පිළිවෙතක්  අනුගමනය කිරීම ප්‍රදේශයේ ජනතාගේ විමතියට ලක්ව හේතුව පවතිනවා.  මේ සම්බන්ධයෙන් නගර සභාවට දැඩි විරෝධයක් එල්ල වී ඇති බැවින් නගර සභාව වහා මැදිහත් වී පොලීසිය සමග එක්ව මෙම ස්ථාන වටලා බලපත්‍ර රහිත ස්ථාන ඉවත් කොට නීත්‍යනුකූල ස්ථාන පමණක් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.” යැයිද පැවසුවාය.


ශාන්න ප්‍රදිප් කුමාර කුලරත්න