friday-rain

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ඇති වී තිබෙන වැසි තත්වය මේ මස 09වැනිදා දක්වා පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.  මේ වනවිට අන්දමන් දූපත් ප්‍රදේශ ආශ්‍රිතව ඇති වී තිබෙන අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මේ මස 08වැනිදා හෝ 09වැනිදා ඉන්දියාව දෙසට ගමන් කළ හැකි බවත්, මේ නිසා සවස් කාලයේ ඇති වී තිබෙන වැසි තත්ත්වය අඩු වැඩි වශයෙන් 09වැනිදා දක්වා පැවැතිය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.



දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (05දා) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ වූ තරමක් තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  උතුරු, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති වන බවත්, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.  ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික එම ප්‍රදේශවල තද සුළංද ඇති විය හැකි බවත්, මේ නිසා අකුණු අනතුරු හා සුළං මගින් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලා සිටියි.

එච්.අයි. තුෂාර