litre-80-100-mislead

ලංකා ඛනිජ වැලි සමාගමේ හිටපු සභාපතිවරයාගේ වාහනයේ ඉන්ධන  ටැංකියේ ධාරිතාව ලිටර් 80ක් වුවද අවස්ථා ගණනාවකදීම ලිටර් 100ක් බැගින් ඉන්ධන ලබාගෙන ඇතැයි වවුචර් පත් මගින් තහවුරු වී ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. ඔහු එම වාහනයට අමතරව වෙනත් වාහනවලට ද ඔහුගේ නමින් ඉන්ධන  ලබාගෙන ඇති බවට ද අනාවරණය වී තිබේ.



රාත්‍රි කාලයේදිත් දුර බැහැර ගමන් වලදිත් සුපිරි ඩීසල් ලබාගැනීමේ අපහසුතා මතුවන බැවින් බූලිවලට ඉන්ධන ලබාගත් නිසා මෙසේ ටැංකි ධාරිතාව ඉක්මවා ඇතැයි සමාගම් කළමනාකාරිත්වය ඒ සම්බන්ධයෙන් විගණන දෙපාර්තමේන්තුවට අදහස් දක්වා ඇත.  රාජ්‍ය ව්‍යාපාර චක්‍ර ලේඛ අනුව රාජ්‍ය ආයතනයක සභාපතිවරයකුට එක් වාහනයක් සඳහා මසකට ලබාගත හැක්කේ ඉන්ධන ලීටර් 150ක් පමණක් වන නමුත් මෙම හිටපු සභාපතිවරයා ඊට පටහැනිව රුපියල් 11.35.748ක ඉන්ධන (ලීටර් 8,133ක්)වැඩිපුර ලබාගෙන ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.

මුදිතා දයානන්ද