aranayake-incident

නිවසේ පවතින ආර්ථික දුෂ්කරතා ඉවසා දරාගැනීමට නොහැකිව සිටි වයෝවෘද්ධ කාන්තාවක කිසියම් විෂ දියරයක් ශරීරගත වීමෙන් ඊයේ (01) මියගොස් ඇතැයි අරණායක පොලිසිය පවසයි.  අරණායක පොලිස් වසමේ බොස්සැල්ල, කළුගල 55 කොටසේ පදිංචිව සිටි 74 හැවිරිදි එක් දරු මවක මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය කියයි. ජීවිතක්ෂයට පත්ව ඇති එක් දරු මව සිය 73 හැවිරිදි වයෝවෘද්ධ සැමියා සමග එම නිවසේ පදිංචිව සිට ඇති බවත්, එකම දියණිය රඹුක්කන, ගබ්බල ප්‍රදේශයේ පුද්ගලයකු සමග විවාහ වී එහි පදිංචියට ගොස් ඇති බවත් අරණායක පොලිසිය සදහන් කරයි.



එම දියණිය පසුව වසර ගණනාවක සිට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර ඉකුත් වසරේ ලංකාවට පැමිණ ඉකුත් නොවැම්බර් 01 වැනිදා ඩුබායි රාජ්‍යයේ ගෘහණියක ලෙස සේවය කිරීමට නැවත පිටත්ව ගොස් ඇත. මිය ගොස් ඇති එක් දරු මවගේ සැමියා යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කර උපයන මුදලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති අතර ස්වාමි පුරුෂයාට ද මාසයක පමණ කාලයක සිට ඇවිද ගැනීමට නොහැකි වීම හේතුවෙන් ආර්ථික දුෂ්කරතා රැසකට වයසක යුවළ මුහුණ පා තිබේ.

ඔවුන් දෙදෙනා වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1900 ක් ද ගොවි විශ්‍රාම වැටුප ලෙස රුපියල් 1950 ක්ද වශයෙන් මසකට ලැබෙන රුපියල් 3850 ක මුදලකින් ජීවත් වෙමින් සිට තිබේ.  ජීවත් වීමට නොහැකි වීම හේතුවෙන් වයෝවෘද්ධ බිරිය  දින  ගණනාවක සිට කනස්සල්ලෙන් සිටි බව මරණ පරීක්ෂණයේදී සැමියා පැවසීය. සැමියා වල් මැරීමට භාවිත කරන වල් දියර නාශකය ශරීරගත වීමෙන් පසුව එම කාන්තාව පෙරේදා (30) 1990 ගිලන් රථයෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිට ඊයේ (1) අලුයම මියගොස්  ඇත.



කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිසංසලා ජයවීර මහත්මිය පශ්චාත් මරණ  පරීක්ෂණය පැවැත්වූවාය. එම මරණය කෘෂි රසායනික දියරයක් පානය කිරීමෙන් සිය දිවි නසා ගැනීමක් බවට කෑගල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහතා නිගමනය කළේය. අරණායක පොලිසියේ සැරයන් (63309) විමර්ශන සිදු කළේය.  මිය ගිය කාන්තාවගේ සැමියා තවදුරටත් පැවැසුවේ නිවසේ පැවැති  ආර්ථික අපහසුතා බිරිඳට වඩා තමන්ට දැනුණු බවත් කර කියා ගන්නට දෙයක් නැතිව සිටි බවත් අසල්වැසි නිවාස වලින් කෑම බීම ගෙනත් දෙන බවත් පෙරේදා (30) රාත්‍රි බතක් උයා අල්ලපු නිවසකින් වෑංජන ටිකක් ඉල්ලා ගෙන කෑ බවත් පැවසීය.


 චමින්ද වැවතැන්න