
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පරිහරණය සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා ස්වයංක්‍රීය හෘද පුනර්ජීවන (හෘදය පණ ගන්වන/ Automated External Defibrillator) යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම 19දා කටුනායක ගුවන්තොටුපළේ 'සිල්ක් රූට්' පර්යන්තයේදී සිදු කෙරිණි. මෙම පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ඉල්ලීම පරිදි හේමාස් සර්ජිකල් ඇන්ඩ් ඩයොග්නාස්ටික්ස් සමාගම විසින් සිදු කර තිබුණි.
හදිසි හෘදයාබාධවලට ගොදුරු වූවන්ගෙන් 95%කටම ජීවිත අහිමි වන්නේ නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා බැවින් කටුනායක ගුවන්තොටුපළ තුළ හදිසි හෘදයාබාධවලට ලක්වන ගුවන් මගීන් සඳහා මූලික වෛද්‍ය ප්‍රතිකාර සිදුකිරීම ස්වයංක්‍රීය හෘදය පණගන්වන යන්ත්‍ර මගින් සිදු කිරිමට නියමිත අතර, එමගින් හෘද රෝගියාගේ 'ECG' තරංග රටාව පරීක්ෂා කිරීම, හඬ විධාන ලබාදීම, රෝගියා නැවත පණ ගැන්වීම සඳහා අවශ්‍ය විදුලි කම්පන ලබාදීම ආදිය සිදු කෙරේ.
මෙම යන්ත්‍රය භාවිත කිරීම පිළිබඳ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් සහ හෙදියන් වෙත පුහුණුවක් ලබාදීමටද පියවර ගැනීමට නියමිතය. මෙම අවස්ථාවට සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජනරාල් පී.ඒ. චන්ද්‍රසිරි, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
- ටී.කේ.ජී. කපිල -
Comments
Post a Comment
Your comment will be visible after approval