
එළඹෙන 2023 වසරේ ජනවාරි මාසයේදී පැය 8ත් 10 ත් අතර කාලයක් විදුලිය කප්පාදු කිරීමට ඉඩ ලබා නොදීම ඇතුළු තීරණ කිහිපයක් ගැන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද අවධාරණය කර සිටියේය.
නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු නොමැතිවීමෙන් ඉදිරි සතියෙන් පසු විදුලි කප්පාදුව පැය 10 ක් දක්වා දීර්ඝ විය හැකි බවට විදුලි ඉංජිනේරු සංගමය ඊයේ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා අමාත්‍යාංශයේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත්, විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වගකීමක් ලෙස තම සංගමය විදුලි අර්බුදය සම්බන්ධයෙන් පෙන්වා දුන් බවයි.
මේ අතර අමාත්‍යාංශයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ, උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන් මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බවයි.
නත්තල් උත්සවය වෙනුවෙන් මේ මස 24 සිට 26 දක්වා දින තුනේද, වර්ෂ අවසානය හේතුවෙන් මේ මස 31 වැනිදා සහ ජනවාරි මස 1 වැනිදා යන දෙදින ද, පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව ඔහු වැඩි දුරටත් කීය.
විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
විදුලි ගාස්තු සංශෝධන කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට නීතිපතිවරයා නිර්දේශ ලබාදී ඇති බව කී අමාත්‍යවරයා, එම නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කර මහජන උපයෝගීතා කොමිසමට ඉද්රිපත් කරන බව ද සඳහන් කළේය.
විදුලි සැපයුම පවත්වාගෙන යෑම සඳහා ලබන වසරට අවශ්‍ය රුපියල් බිලියන 270 ත් 300 ත් අතර මුදල පූර්ණය කිරීමට අවශ්‍ය ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval