food-crisis-sri-lanka

මෙරට ජනතාව අතරින් මිලියන 6.2ක ජනතාවක් මධ්‍යස්ථ හා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට මුහුණ දෙන බව එක්සත්ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙයි. ඔවුන්ගේ ජූනි - දෙසැම්බර් දක්වා වන ප්‍රතිචාර දළ විශ්ලේෂණය මගින් පෙන්වා දෙන්නේ මෙරට දේශපාලන හා ආර්ථික පෙරළියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය අවශ්‍යතා මෙම වර්ෂයේ තියුණු ලෙස ඉහළ ගොස් ඇති බවය. එමෙන්ම ලංකාව ශීඝ්‍රයෙන් වර්ධනය වන ආහාර සුරක්ෂිතතා අර්බුදයකට මුහුණ දී තිබෙන බවත්, පුද්ගලයන් හතරදෙනෙකුගෙන් එක් අයෙක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවට මුහුණ දී සිටින බවද ඔවුන් පෙන්වා දෙයි.



2022 ජූනි මාසයේ සිට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එහි හදිසි අවස්ථා සහ ඔරොත්තු දීමේ මැදිහත් වීමේ වැඩසටහන යටතේ මෙරට කුටුම්භ 62,640ක පුද්ගලයන් 244,300කට වැඩි ප්‍රමාණයක් වෙත ළඟා වී ඇති අතර, එම තොරතුරු මෙකී වාර්තාව සඳහා පාදක කරගෙන ඇත.ඔවුන් දක්වන පරිදි මෙරට ජනගහනයෙන් 40%ක්ම තම ජීවනෝපාය සඳහා යැපුම් කෘෂිකර්මාන්තයේ යෙදෙයි. එමෙන්ම වී නිෂ්පාදන පිරිවැය 2022 වර්ෂයේදී 100%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. 2022 ජූලි මාසය වන විට මෙරට ආහාර උද්ධමනය 90% දක්වා වැඩි වී ඇත. ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් අත්විඳින බවත්, දේශපාලන හා සාමාජීය කැළඹීම් හේතුවෙන් මේ තත්ත්වය තවදුරටත් උග්‍ර වන තත්ත්වයක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙරට ජනගහනයෙන් 40%ක්ම තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස කාෂිකර්මාන්තය මත යැපීම නිසා පවතින බහුමාන අර්බුදයන් ඔවුන්ගේ ජීවනෝපායට දැවැන්ත තර්ජන එල්ල කර ඇති බවත් එහෙයින් ජාතික ආහාර පද්ධතිය කඩාකප්පල් කරවන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් එහි සඳහන්ය. 2021 වර්ෂයේ මැද භාගයේ සිට කෘෂිකාර්මික නිෂ්පාදන හත වැටීමේ ප්‍රවණතාවක් මතුවූ බවත් එයට හේතුව ලෙස පොහොර හා අනෙකුත් අත්‍යාවශ්‍ය නිෂ්පාදන යෙදවුම් නොමැති වීම ඔවුන් සදහන් කරයි. තවද ධීවර ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමුකරන මෙම සංවිධානය පවසන්නේ ධීවරයන්ගේ මෝටර් බෝට්ටු සඳහා ඉන්ධන නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස මත්ස්‍ය අස්වැන්තද අඩු වී ඇති බවයි.

එසේම පශු සම්පත් පාලකයන් වෙත හා පශු වෛද්‍ය සැපයුම් වෙත ප්‍රවේශය අපහසු වීම ආදී ගැටලු හේතුවෙන් දේශීය වෙළෙඳ පොළවල ආහාර සැපයුම හැකිළෙමින් පැවතීම නිසා ආහාර උද්ධමනය ඉහළ යෑමක් සිදුවී ඇති බවද ඔවුන් සදහන් කරයි.

එපමණක් නොව ඔවුන් සඳහන් කරන්නේ සෑම කුටුම්භ දහයක් අතරින් හතරක්ම ආදායම් අඩු වීමක් අත්විඳිමින් පවතින බවත්, සෑම නිවාස දෙකකින් එකක්ම තමන්ගේ ආදායම් සම්බන්ධ සෘණාත්මක තත්ත්වයකට මුහුණ දෙමින් ඔවුන්ට ආහාර අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවට විශ්වාස කරන තත්ත්වයක පසුවන බවත්ය. මෙම තත්ත්වය මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ශ්‍රී ලාංකික ගොවීන්ට හා ප්‍රජාවට සහාය දීමට යොමු වූ බවත්, ඒ අනුව ගොවීන්ට ගුණාත්මක බීජ, පොහොර හා පළිබෝධනාශක ලබාදීමට කඩිනම් පියවර ගත් බවත් පැවසීය. ඒ මගින් ඔවුන්ගේ ජීවනෝපාය ආරක්ෂා කර ගැනීම හා ප්‍රජාවට පෝෂණය සැලසීම සිදුකිරීම අභිලාෂය බවට පත් වූ බවත් සදහන් කරයි. ඒ අනුව වැඩිම අවදානමට ලක්විය හැකි ගොවීන්හඳුනාගෙන ඔවුන්ගේ නිෂ්පාදන හා වත්කම් ප්‍රතිෂ්ඨාපනය කිරීමත් ඔවුන්ට ඒ සදහා මුදල් ආධාර කිරීමත් අවශ්‍ය බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

ඒ අනුව ඔවුන් විසින් කළ වැඩසටහන් ඔස්සේ මේ වන විට ගොවි නිවාස 47,619ක පුද්ගලයන් 185,700ක් වෙත යූරියා ටොත් 2381ක් ඛෙදා දී ඇත.

තවද කුටුම්භ 15021ක් සදහා මූල්‍ය ප්‍රදානයන් සිදුකර ඇත. එහිදී පුද්ගලයන් 58,600කට දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4ක් අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මාතලේ, මොනරාගල, මුලතිව්, පොළොන්නරුව, පුත්තලම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල අවදානමට ලක්විය හැකි මුං වගාකරන ගොවීන් හා ධීවරයන් වෙත ලබාදෙනු ලැබීය.

එසේම කොළඹ නාගරික කෘෂිකාර්මික කටයුතුවල නියැළී සිටින නිවාස 600ක පුද්ගලයන් 2,340ක් සඳහා ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට දායකත්වය දක්වමින් කෘෂි නිෂ්පාදන යෙදවුම් ලබාදීම සිදුකර ඇත. බදුල්ල, යාපනය සහ මොනරාගල දිස්ත්‍රික්කවල පාසල් තුළ වගා බිම් ඉදිකිරිම සඳහා පාසල් 200ක ගුරුවරුන් හා සිසුන්ට අවශ්‍ය දැනුම ලබාදීමද සිදුකර ඇත. විශේෂයෙන් පසුගිය මඟ කන්නයේ අස්වනු අඩුවීමක් අත්දකින ලද ගොවීන්ට යූරියා හා සුපර් පොස්පේට් පොහොර ලබාදීමටත්, ගොවි පවුල් ඉලක්ක කරගෙන මූල්‍යමය ආධාර හා ද්‍රව්‍යමය ආධාර ලබාදීමටත්, ආහාර හා පෝෂණය නැංවීම වෙනුවෙන් ආහාරවලින් ආධාර කිරීමත්, ගොවීන් මෙන්ම ධීවර ප්‍රජාවටද මෙලෙස තම ආධාර අරමුදල් යොමු කිරීමත් වෙනුවෙන් වැඩකටයුතු රාශියක් සිදු කිරීමට නියමිතය.


 නදිශානි පතිරණ