dhal-container-issue

රුපියල් කෝටි 06කට අධික වටිනාකමකින් යුත් පරිප්පු කන්ටේනර් 10ක් වංචනික ලෙස ලබාගැනීම සහ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් පරිප්පු පිරිසුදු කිරීමේ යන්ත්‍රෝපකරණ සාවද්‍ය පරිහරණය කළැයි කියන මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (05) කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බල්ක් බයි ග්‍රේම්ස් (ඕස්ට්‍රේලියා) පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ, ශ්‍රී ලාංකිකයකු වන මනෝජ් දුශ්‍යන්ත රාජරත්න මහතා විසින් ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා ය.



ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට පරිප්පු අපනයනය කරන සමාගමක අධ්‍යක්ෂවරයා වන තමන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් වන ග්‍රේම්ස් ලයිෆ් ඕස්ට්‍රේලියා පුද්ගලික සමාගම සමග 2020 වසරේ සිට ව්‍යාපාරික කටයුතු සිදු කළ බවත්, මුල් අවස්ථාවේදී පරිප්පු කන්ටේනර් 17ක් ලබාදී මුදල් ලබා ගත් බවත්, පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව අධිකරණයට කරුණු වාර්තා  කර ඇත. ශ්‍රී  ලංකාවේ ලියාපදිංචි සමාගමක් වන ග්‍රේම්ස් ලයිෆ් ඕස්ට්‍රේලියා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් වශයෙන් දයාරත්න යාපා අප්පුහාමිලාගේ එරන්ද, ඇල්විටිගලගේ දොන් සිසිර චාමර සහ නිමේෂ් චින්තක ගුණවික්‍රම යන අය කටයුතු කරන බවත්, ඉකුත් 2021 වසරේ ජුනි මස 29 වැනිදා තමන් විසින් ලබාදෙනු ලැබූ පරිප්පු කන්ටේනර් 10 අදාළ සමාගම කොළඹ වරායෙන් නිදහස් කරගෙන ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා තිබිණි.



තමන් ශ්‍රී ලංකාවට එවන පොත්ත සහිත පරිප්පු විකිණීමට පහසු වන පරිදි නැවත පිරිසුදු කිරීම සඳහා අංක 47/1, මකුළුදූව, පිළියන්දල ලිපිනයෙහි ඉන්දියා හෝල්ඩින්ස් පුද්ගලික සමාගම යනුවෙන් පවත්වාගෙන යන ආයතනයේ තිබූ රුපියල් දෙකෝටි දහසය ලක්ෂ පනස් දහසක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ ඉන්දියා හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ තරංග සංජීවනී ලියනගේ යන අය බලහත්කාරයෙන් ලබා ගෙන, සාවද්‍ය පරිහරණය කරන බවත්, පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් දක්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386,  389, 403 වගන්ති ප්‍රකාරව වරදක් බැවින්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර, අදාළ සමාගමේ බැංකු ගිණුම් පවත්වාගෙන ගිය ජාතික සංවර්ධන බැංකුවේ බැංකු ගිණුම් විස්තර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා එහි කළමනාකරුට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.  ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර බැංකු විස්තර සහ අදාළ ලේඛන සමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන කළමනාකරු වෙත අධිකරණයෙන් නියෝගයක් නිකුත් විණි.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වැඩිදුර වාර්තාවෙන් දක්වා තිබිණි.
නිමන්ති රණසිංහ