dewum-sanahas-14-japura

පසුගිය අගොස්තු මාසයේ පිටවූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව වාණිජ්‍ය විෂය ධාරාවෙන් බී සාමාර්ථ 3 ක් ලබාගත් ළාබාල සිසුවෙකු ගැන මාධ්‍ය ඔස්සේ වාර්තා පළ විය. වයස 14 ක් වූ කඩවත පදිංචි දෙවුම් සනහස් රණසිංහ නමැති සිසුවා මෙම දක්ෂතාව දැක්වීය.
මාස 05ක් වැනි කෙටි කාලයක් විභාගයට සූදානම් වීමෙන් පසුව මෙම සුවිශේෂී ජයග්‍රහණයට ළඟා වීමට හැකි වූ බව ඔහු පවසා තිබුණි. එම විභාගයේ කඩඉම් ලකුණු ඉසෙඩ්ස්කෝර් පසුගිය සතියේ නිකුත්වූ පසු දෙවුම් සනහස්ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදැරීමට හැකියාව ඇතැයි පෙනී ගියෙන් ඔහු එම පාඨමාලාව තෝරාගෙන තිබේ.


දෙවුම් සනහස් පසුගිය අගොස්තුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුගේ අනාගත බලාපොරොත්තු පැහැදිලි කළේ වෙනස් ලෙසකිනි. ඔහුට නීතීඥයෙකු වීමේ අරමුණක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකුවීමේ ආසාවක් ඇතැයි පවසා තිබුණි.
මොහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ තමා කුමාර් සංගක්කාර අනුගමනය කිරීමට ආසාවකින් පසුවන බවත් ඉදිරියේදී නීතීඥයෙකු හා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන්නට යන්නේ ඒ නිසා බවත්ය.

තමාට රජයේ හැඳුනුම්පතක් ලබාගැනීමට වයස නැති නිසා විදෙස් ගමන් බලපත් අංකය අනුව සාමාන්‍ය පෙළට පුද්ගලිකව පෙනී සිටි බව ඔහු කීය.
 ඉදිරියේදී නැවත උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ නැති බවත් එසේම රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමට අදහස් නොකරන බවත් පුද්ගලික විශ්ව විද්‍යාලයකින් නීති උපාධියක් හදාරන්නට උත්සාහ කරන බවත් ඔහු අගොස්තුවේදී පැවසුවේය.
පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කළ දෙවුම් ක්‍රිකට් වලට ආසා කළේය.
මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලය නමැති රජයේ අනුමත පුද්ගලික පාසලේ දෙවුම් අධයාපනය හැදැරුවේය.


නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යක්‍ෂ අනුර රණසිංහ මහතා සහ අධ්‍යක්‍ෂිකා මල්කා රණසිංහ මහත්මිය දෙවුම් සනහස් සිසුවාගේ දෙමාපියෝය. දෙව්ම්ගේ පියා වෘත්තියෙන් ගණිත ගුරුවරයෙකුද වන අතර ඔහු අගොස්තු මාසයේදී පවසා තිබුනේ තම පුත්‍රයා ක්‍රීඩාවට දැඩි ලෙස කැමති නිසා අඩු වයසින් විභාග කර විභාග පීඩනය නැතිව ක්‍රීඩාවට යොමු කිරීමට මෙලෙස උසස් පෙළට පෙනී සිට මෙම ප්‍රතිඵල ලබාගැනීමට යොමු කළ බවයි. ඉදිරියේදී ඔහුට වයස 18 සම්පූර්ණවූ පසු නීති උපාධියකට යොමු කරන බවද ඔහු ඒ දිනවල කීය.

සනහස්  රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමට සාකච්ඡා කරන බව මව වන මල්කා රණසිංහ මහත්මිය අගොස්තු මාසයේ පවසා තිබුණි.

දෙව්ම්ගේ පවුලේ 8 වසරේ තවත් පුතෙකු හා 6 වසරේ දියණියක සිටින බව ඔහුගේ මව පැවසූ අතර 8 වසරේ පුතුද මෙවර සාමාන්‍ය පෙළ විභාගයට යොමු කර ඇතැයි දෙව්ම්ගේ මව පැවසුවාය.

නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යක්‍ෂ මව්පියන්ගේ පුතු ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන්  ඔහුට සුබපැතීම සඳහා එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඊයේ (5) පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර  තිබිණි.
එහිදී විදුහල්පති එන්. ජී.රන්බණ්ඩා මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගෙන උත්සව ශාලාව වෙත කැඳවා ගෙන යනු ලැබිණි.