බලපිටිය කාර්මික විද්‍යාලයේ වෘත්තීය පාඨමාලාවක් හදාරන සිසුන් 12දෙනකු පෙරේදා (17 වැනිදා) අම්බලංගොඩ දුම්රිය ස්ථානයෙන් ‘ගාලු කුමාරි’ දුම්රියට ගොඩවූයේ දෙහිවල සත්ව උද්‍යානය නැරැඹීමට යාම සඳහාය.

වසර අවසානයේ විනෝද වීම පිණිස එසේ පැමිණි පිරිස පෙරවරු 10.15ට පමණ දෙහිවල දුම්රිය ස්ථානයෙන් බැස ගත්හ. එම පිරිසෙන් නවදෙනෙක් දෙහිවල දුම්රිය ස්ථානයේ සිට ගුවන් පාලම ඔස්සේ ගාලු පාරට පැමිණියෝය. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ පළමුව දෙහිවල මුහුදු තීරයට ගොස් පසුව බස් රථයකින් දෙහිවල සත්තු වත්ත බැලීමට යාමය.



මේ අතර, ඔවුන් සමග පැමිණි තරුණයන් දෙදෙනෙක් හා තරුණියක් දුම්රිය ස්ථානයේ සිට ගුවන් පාලමෙන් ප්‍රධාන මාර්ගයට නොපැමිණියහ. ඔවුන් ඒ වෙනුවට තෝරාගත්තේ වෙනත් මගකි. එනම් දුම්රිය මාර්ගය දිගේ ඇවිද විත් ප්‍රධාන මාර්ගයට පිවිසීමය. විටින් විට අශ්ව වේගයෙන් දුම්රිය එහා මෙහා ගමන් කරන නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ඇවිදීම දැඩි අවධානම් ය. එසේ තිබියදීත් ඔවුන් තිදෙනා දුම්රිය මාර්ගයේ ඇවිද යමින් සෙල්ෆි ඡායාරූප ද ගෙන තිබිණි.

එලෙස අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි ඔවුන් කිසිවකුත් කඟවේනකු මෙන් පැමිණි දුම්රිය දැක නැත. පුදුමයට කරුණ නම් දුම්රියේ නලා ශබ්දය ද ඔවුනට නෑසීමය. ඇතැම් විට මහ සයුරේ ඝෝෂාව ඒ සියල්ලට ඉහළින් ඔවුන්ගේ සවන් මත පතිත වූවා විය හැකිය. එනමුත්, එහි ප්‍රතිඵලය වූයේ තිදෙනාම දුම්රියේ ගැටීමය. අනතුරින් තරුණිය සහ එක් තරුණයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ. දුම්රියේ ගැටී මීටර් ගණනාවක් ඈතට විසිවූ අනෙක් තරුණයාට බරපතළ තුවාල සිදුවිය. ඔහු මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

මරදාන සිට දකුණු කළුතර දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ආ මරුවාට මෙම තරුණ ජීවිත දෙක බිලිගැනීමට ගතව තිබු‍ණේ ඇසිල්ලක ප්‍රමාදයකි.

එම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ ගාල්ල, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් රන්දික විජේසිංහ (21) සහ අම්බලන්ගොඩ, වතුගෙදර, වඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ෂෙරිණි ලක්ෂිණි (22) නමැති අයයි.

අප ෂෙරිණිගේ නිවසට යන විටත් ඇයගේ දේහය නිවසට රැ‍ගෙන විත් නොතිබිණි. ඇයගේ පියා වන කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන අනෝජ් ඉන්දික දියණිය බැලීමට කොළඹ රෝහලට ගොස් තිබිණි. ඒ වනවිට නිවසට රැස්ව සිටි ෂෙරිණිගේ නෑ හිත මිතුරන් ගල් ගැසී මෙන් බලා සිටි අතර, මව වන ලෙසිකා ලසන්ති (45) පොලවේ හැපෙමින් විලාප දුන්නේ අන් සැමගේ දෙනෙත් කඳුළින් තෙත් කරවමිනි.

ඇයගේ ලතෝනිය අසා සිටිය නොහැකි නෑ හිතවතුන් ඈතට ගොස් තැන තැන රැඳී සිටියේ මෙය තමාට වූ විපතක් සේ සලකමිනි. නිවසට පැමිණි සියලු දෙනා පැවසුවේ ඇයගේ හොඳ ගතිගුණම පමණි.



‘‘මගේ රත්තරන් දුවට මුකුත් වුණේ නෑ මහත්තයෝ, අද හවසට ගෙදර එනවා. එතකන් ඉන්න. අනේ මගේ දුවට මොකුත් වුණේ නෑ කියලා කවුරුත් කියන්න. මගේ හිඟන්නට කවුරුත් ආදරෙයි. දෙවියනේ, ට්‍රේනින් කොලෙජ් එකේ මැඩම් හරිම ආදරෙයි කියලා කිව්වා. මැඩම් අපේ ගෙදර ඒවි අම්මේ කියලා දරුවා නිතරම කියනවා. එදා උදේ මට වැඳලා මූණ ඉඹලා මගේ බෙල්ලෙ එල්ලිලා අම්මට කන්න මොනවද මම ගේන්න ඕනෑ කියලා ඇහුවා. දෙවියනේ විභාගෙ හොඳට පාස් වුණා. එයා හරි සතුටෙන් හිටියා. තාත්තගෙ පණ දෙවියනේ. මට දැන් කවුරුවත් නෑ’’ එසේ කියමින් ඇයගේ මව නැඟු විලාපය තවමත් අපගේ දෙසවන දෝංකාර දෙයි.

ෂෙරිණිගේ පවුලේ දැන් ඉතිරිව ඇත්තේ ඇගේ තනි නොතනියට සිටි එකම මල්ලි පමණි. ඔහු වතුගෙදර ශ්‍රීපතී විදුහලේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හදාරයි. සිදුවූයේ කුමක්දැයි නොදන්නා අයුරින් ඔහු බලාගත් අත බලා සිටින්නේ අක්කා දැක ගැනීමේ අටියෙනි.

ෂෙරිණිගේ ආච්චි වන පී.ඩී. තිලකාවතී (69) මෙසේ පැවසුවේ හැඬූ කඳුළිනි.

‘‘අනේ මේ දරුවා පිංවත් දුවෙක්. පුරවලා මල් වට්ටි දෙකක් ඕනෑ නැත්නම් පහන කියන්නේ නෑ. කැලේ ආරණ්‍යයේ කඨින පිංකම වෙලාවේ පාත්තර හතක් හදලා පූජා කරලා හරි සතුටෙන් ගෙදර ආවේ. එයා දිව්‍යලෝකේ ගියා. පිං වැඩි දරුවන්ට වැඩි කල් ඉන්න බෑ දෙයියනේ.’’

මේ අතර, මියගිය රොෂාන් රන්දික තරුණයාගේ හිතවතුන්ද මෙම නිවසට පැමිණ සිටියේ ෂෙරිණිගේ නිවසේ තොරතුරු සොයා බැලීමටය.


br />එම අනතුරින් මියගිය රොෂාන් රන්දික ගැන මිතුරෙක් මෙසේ පැවසීය.

‘‘අපි මේ මරණ ගැන අහලා ගල් ගැහිලා වගේ ඉන්නේ. අපි කාටවත් අදහා ගන්න බෑ. මේ සිදුවීම ගැන. රොෂාන්ගෙන් කිසිම කෙනකුට කරදරයක් නෑ. හැමදෙයක්ම බැලන්ස් කරගෙන හිටිය යාළුවෙක්. අපිට නිතරම කිව්වේ අම්මයි තාත්තයි රජෙක් වගේ බලාගන්නවා කියලයි.

යාළුවන්ට හරිම ආදරෙයි. එයාගෙ විනෝදාංශය තමයි වෙසක්වලට ගිහින් බට ගස් කපාගෙන ඇවිල්ල වෙසක් කූඩු හදන එක. අපි කාටත් කූඩු හදන්න බට කපන්නේ එයා. ඒ වගේම ෂෙරිණි නංගිලා අපි කවුරුත් සහෝදරයෝ වගේ හිටියේ. මේ දුක අපි කාටවත් අවසන් වෙන්නෙ නැහැ’’ යැයි පවසන විටත් ඔහුගේ දෙනෙතෙන් කඳුළු රූරා වැටිණි.

•එෆ්. අස්ලම්/ ආර්.එස්. ධර්‍මදාස - බලපිටිය/ ඒ.ඒ. චම්පිකා - ඇල්පිටිය