How-the-17-year-old-student-died-inside-the-car-leaving-many-questions

නිවෙස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථය තුළ පැය තුනක් පමණ සිර වී සිටි 17 හැවිරිදි සිසුවකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිදුවීමක් ඊයේ පිළියන්දලින් වාර්තාවිය.
මාම්පේ ජය මාවත පදිංචිව සිටි ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 12 වන වසරේ සඳුන් නින්සර මෙසේ මියගියේය.
මෙම සිසුවාගේ මරණය තවමත් සැක සංකා ඉතිරි කර සිදුවූ එකක් බවට පත්ව තිබේ. මරණය සිදුවී ඇති ආකාරය ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරුද හුවමාරුවේ.
මේ ගැන සිදු කරන විමර්ශනයේදී මියගිය සඳුන්ගේ නිවසට ආ මිතුරා සපයා ඇති තොරතුරු පිළිබඳව අවධානය යොමු කිරීම වටී.
පියා සහ අක්කා වැඩට ගොස් මව හා නිවුන් සොයුරා රෝහලකට ගොස් සිටි වේලාවක සඳුන් නිවසෙහි සිටියේ තනිවමය.

ඔහු ලබන උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි අයෙකි. නිවැසියන්ට පවසා තිබුනේ පාඩම් වැඩ එකතුවී කරන්නට අසල්වාසී මිතුරා එදින උදේ එන කතාවකි. මියගිය සඳුන්ගේ නිවසට ගෙවල් කිහිපයක් එපිටින් පදිංචිව සිටි මෙම මිතුරා සාමාන්‍යයෙන් සඳුන් හා එක්ව පාඩම් කිරීම කලෙක සිට සිදු කර තිබූ අතර සිද්ධිය වූ දිනයේද එම කටයුත්තට සූදානමක් පැවතිණි.
එදින උදේ සිට එම මිතුරා සඳුන්ගේ නිවසට එන්නට වේලාවක් යොදාගෙන තිබුණත් ඔහු පණිවිඩයක් තබා කියා තිබුනේ
දවල් 11 ට පමණ නිවසට එන්නට හැකි බවයි. පසුව එම වේලාවද වෙනස් කර ඇති මිතුරා 11 ට පවසා ඇත්තේ නෑදෑයො වගයක් ගෙදර ආවා ඒ නිසා 3 ට විතර එන්නම් කෙටි සටහන් ටික දමාගෙන ඉන්න කියාය.
එම පණිවිඩය කියන්නට අසල්වාසී මිතුරා සඳුන් සිටි නිවසට පැමිණි අතර ඔහුගේ පණිවිඩය අසන්නට සඳුන් ගේට්ටුව ළඟටද පැමිණ ගොස් තිබුණි.
පසුව දවල් 2.45ක් පමණ නිවෙසට පැමිණි මිතුරාට ඉදිරිපස ගේට්ටුව වසා තිබී ඇති අයුරු දැකගන්නට ලැබී ඇති අතර ඔහු සීනුව නාද කළත් ශබ්දයක් නැති නිසා උඩින් පැන ඇතුළුවී, නිවසේ දොර විවෘත කර තිබූ හෙයින් නිවෙසට ගොස් කාමරය තුළ සඳුන්ව සොයා බලා තිබේ. නමුත් සඳුන් නිවසේ දක්නට ලැබී නැත. නිවසේ නාන කාමරද පරීක්ෂා කළත් ඔහුට සඳුන්ව හමුවී නැති අතර එම අවස්ථාවෙහි රූපවාහිනිය හා විදුලි පංකාව ද ක්‍රියාත්මකව තිබීම නිසා සඳුන් ටිකකට කොහේ හෝ යන්නට ඇතැයි යන සැකයෙන් ටික වේලාවක් සිටි බව පැවසේ. නමුත් සඳුන් සොයාගන්නට ලැබුනේ නැති බැවින් අවට පදිංචිකරුවන්ට ද පවසා සඳුන්ව සොයා ඇති මිතුරා, පසුව පියාට ද දුරකතන ඇමතුමක් දී අනතුරුව පියා ද නිවෙසට පැමිණ දරුවා සොයා බලා තිබේ.


මෙසේ සොයමින් සිටියදී ගරාජයේ නවතා ඇති මෝටර් රථයේ ඉදිරිපස වම්පස අසුනේ දොරට හේත්තු වී ඒ තුළ සිහි විසඥව සඳුන් වැටී සිටින අයුරු දැක තිබේ. එම අවස්ථාවේ සඳුන්ගේ පාද දෙක රියැදුරු අසුන පැත්තට තිබී ඇතැයි පැවසිණි.
ඒ වන විට මෝටර් රථයේ සියලුම දොරවල් ස්වයංක්‍රියව වැසි තිබූ නිසා එක්වරම වාහනය විවෘත කරගන්නට බැරිව ගිය බවත් කලබලයෙන් යකඩ ඉන්නක් සොයාගත් පියා යකඩ ඉන්නෙන් වීදුරු කැඩීමට උත්සාහ කළ බවත් පැවසේ.  එය ව්‍යර්ථ වීමෙන් පසු මෝටර් රථයේ යතුර ගැන මතක්වූ පියා කාමරයට ගොස් යතුර රැගෙන ඇවිත් දොර විවෘත කර ඇතැයි පොලිසියට ඔහු පවසා තිබේ.
එම අවස්ථාවේදී සිසුවාගේ මුවින් සෙම වැගිරෙමින් තිබී ඇති අතර, අධික ලෙස දහඩිය දමා තිබී ඇත.සිරුර අධික රස්නයෙන්ද යුතුවූ බව පියා පවසා තිබේ.
සිසුවා වහාම පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන ගොස් මූලික ප්‍රතිකාර දී කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (01) සවස මියගියේය.
මෙම මරණය සිද්ධවූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරිව තිබෙන අතර වාහනය ඇතුළට දරුවා ගියේ ලොක් කර තිබූ දොර හැරගෙන නම් එහි යතුර කාමරයකින් පසුව හමුවුනේ කෙසේද? වාහනය ඇතුලේ සිට එලියට ඒමට බැරිවන ලෙස ලොක් වූයේ කෙසේද? වයස 17 ක සිසුවෙකුට වැරෙන් පහරදී හෝ වෙනත් යමක් කර දොර ඇරගන්නට හැකියාව නැතිද? ආදී සැකසහිත කාරණා කිහිපයක් තිබේ. මිතුරා නිවසේ සියලු තැන්හි සඳුන්ව සෙව්වත් වාහනයේ සඳුන් සිරවී ඇති බව දකින්නේ පියාද පැමිණ සෙවූ පසුව වීමද විශේෂිත කාරණයකි.

මේ සම්බන්ධයෙන් ඇඟිලි සටහන් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පවත්වා ඇති අතර මෝටර් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පොලිසිය කියයි.
සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබුණි.