
දකුණුදිග ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4,586ක් වටිනා අයිස් කිලෝ ග්‍රෑම් 234ක ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙන්වීමේ ජාවාරම මෙහෙයවා ඇත්තේ, දැනට ඩුබායිහි පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘හරක් කටාගේ’ ප්‍රධාන ගෝලයෙකු වන 'ආබෲ' නමැත්තා විසින් බව බුද්ධි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. රාජ්‍ය බුද්ධි සේවයට ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි නිලධාරින් එක්ව දින 45ක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කර තිබූ බවත්, ඩුබායිහි සිටින ආබෲ නමැත්තා අදාළ මෙහෙයුම සංවිධානය කර ක්‍රියාත්මක කර ඇති බවත් හෙළි වී ඇතැයි ආරක්‍ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. ශ්‍රී ලංකාවට දකුණෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229ක් පමණ (කිලෝමීටර් 424ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106 ග්‍රෑම් 474ක් (ඇසුරුම් බර සහිත) තිබූ බව නාවික හමුදාව සඳහන් කරයි. මත්ද්‍රව්‍ය තොගය උර 13ක පැකට් 94ක් තුළ අසුරා තිබූ බවද නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.
මත්ද්‍රව්‍ය තොගය රැගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 08දෙනා සහ අදාළ බහුදින ධීවර යාත්‍රාවට ඉන්ධන ලබාදීමට හෝ යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ලබාගැනීමට හෝ පැමිණි බවට සැක කරන තවත් බහුදින ධීවර යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 06දෙනෙකුද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 - 59ත් අතර වයසේ පසුවන තංගල්ල, නාකුළුගමුව, කොස්ගොඩ සහ බලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවද බුද්ධි අංශ සඳහන් කරයි. පසුගිය 14වැනිදා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව මගින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 18දා උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට පියවර ගත්තේය.
දුමින්ද සංජීව බාලසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval