
මෙරට පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සේවය කරන ඇමරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරිනියක සතු අත් බෑගය යතුරු පැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු විසින් පැහැර ගෙන පලා යනු ලැබ ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි. මෙම අරක්ෂක නිලධාරිනිය කොළඹ 7 ග්‍රෙගරි පාරේ පිහිටි ඇමරිකානුවන්ගේ සමාජ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකට සහභාගිවීමට පෙරේදා (30) සවස පා ගමනින් යමින් සිට ඇතැයි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
යතුරුපැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු ඇමරිකන් ආරක්ෂක නිලධාරිනිය සමීපයට පැමිණ ඇති අතර පසුපස අසුනේ වාඩිවී සිටි තැනැත්තා ඇයගේ ගෙල බැඳි රන් මාලය එක්වරම කඩා ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි. රන් මාලය කඩා ගැනීමට ගත් උත්සාහය නිලධාරිනිය විසින් වළක්වා ගනු ලැබ ඇති අතර ඔවුන් ඇයගේ අත් බෑගය උදුරාගෙන පලාගොස් ඇතැයි එම පොලිස් නිලධාරියා කීවේය.
ඇමරිකන් තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් මේ බව කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරික්ෂණ ආරම්භ කර ඇත. කුරුඳුවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශය මේ පිළිබඳ පරික්ෂණ පවත්වයි. යතුරුපැදියෙන් පලාගිය සැකකරුවන් සම්බන්ධයෙන් තවම කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද පොලිසිය කියයි.
ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval