thilini-priyamali-priyantha-kumara

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණී ප්‍රියමාලි යන අය
රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් බෙන්ස් රථයක් ව්‍යාපාරියකුගෙන් ලබාගෙන විකුණා දෙන බවට පවසා වංචාකිරීමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ
දෙපාරිතමේන්තුව විසින් අත්අඩංගුවට ගනු රූපලාවන්‍යාගාර හිමිකරුවකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ විජයබා මාවත, නාවල, රාජගිරියේ පදිංචි හේරත් මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර නමැති රූපලාවණ්‍යාගාර හිමිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් තිබුණේ ලක්ෂපාන මාවත, ගනේගොඩ පදිංචි ශෙනත් රජින්ද්‍ර ජයසූරිය නමැති ව්‍යාපාරිකයෙකි. ඔහු එක්සත් රාජධානියේ රැකියාවක නියුතු අයෙකි.



රාජගිරියේ පදිංචි භිබතුල් කරීම මොහොම්මදු ලෙබ්බේ අලී යන අයට අයත් අංක කේ ඩබ්ලිව්. 4088 දරන ඊ 250 වර්ගයේ බෙන්ස් රථය තමන් ඉකුත් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 24 වැනිදා මිලට ගත් බවත්, පසුව එය විකිණීම සඳහා ව්‍යාපාරිකාවක වූ තිළිණී ප්‍රියමාලි යන
අයට ඉකුත් 2021 ජුලි මස 13 වැනිදා බාරදුන් බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
තිළිණී ප්‍රියමාලි සහ සැකකාර ප්‍රියන්ත යන අය තමන් දන්නා හඳුනන අතර, වාහන විකිණීම සඳහා මොවුන් දෙදෙනාම ෂැංග්‍රිලා හෝටලයේ වාහන අංගණයට පැමිණි බවත්, පසුව වාහනයේ ලියකියැවිලි ඔවුන්ට බාරදුන් බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය. පසුව එම වාහනය වෙනත් අයකුට විකුණා ඇති නමුත් තමන්ට මුදල් ලබා නොදුන් බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට
ඉල්ලා කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණයක් ආරම්භ කළ බවත් එහිදී මෙම වාහනයේ අවසන් අයිතිකරු ලෙස ලියාපදිංචි වී ඇත්තේ සැකකාර ප්‍රියන්ත යන අය බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.



ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386,389 සහ 400 යන වගන්ති ප්‍රකාරව තිළිණී ප්‍රියමාලි යන අය වරදක් කර ඇති බැවින් ඇය මෙහි පළමු සැකකාරිය වශයෙන් ඇතුළත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එහිදී ඇය මෙම
නඩුවේ පළමු සැකකාරිය ලෙස නම් කරන ලදී. මෙම නඩුවේ දෙවැනි සැකකරු සිද්ධියට අදාළව ආධාර අනුබල ලබාදී ඇති බැවින් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණසිංහ