thilini-priyamali-police

තිලිණි පියුමාලිගේ රුපියල් කෝටි ගණනක වංචාවට අදාළ විමර්ශනයේ එක් විමර්ශන ඒකකයක ස්ථානාධිපති ධුරය හෙබ වූ ස්ථානාධිපතිවරිය හා උසාවි කටයුතු භාර සැරයන්වරයා පොලිස්පති නියෝග මත නුගේගොඩ හා නුවරඑළිය කොට්ඨාස වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර ඇත.
මෙසේ ස්ථාන මාරු ලබා ඇත්තේ ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිරෝෂණී හේවාපතිරණ හා සැරයන් ගුණරත්න (4701) යන දෙදනාය.



ප්‍රධාන පොලිස් පරික්ෂිකා නිරෝෂණි හේවාපතිරණ නුගේගොඩ කොට්ඨාසයටත්, පොලිස් සැරයන් ගුණරත්න නුවරඑළිය කොට්ඨාසයටත් මාරුකර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට හා පොලිස්පතිවරයාට ලද පැමිණිලි මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) කරන ලද විමර්ශනයකට අනුව පොලිස්පතිවරයාට දුන් වාර්තාවක් මත මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.

අධිකරණ කටයුත්තක සාක්ෂිකාරයකු ඉදිරිපත් කිරීමේ ගැටලුවක් සම්බන්ධව මෙම දෙදනාට එරෙහිව මහෙස්ත්‍රාත්වරයකු ඉදිරිපත් කළ චෝදනාවක්ද පොලිස්පතිවරයා විසින් විභාග කර ඇත.

කමල් හසන් නමැති​ කොළඹ නගරයේ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු විසින් තිලිණි පියුමාලි විසින් තමාගේ රන් ආභරණ හා මුදල් කෝටි ගණනක් වංචා කළ බවට කළ පැමිණිල්ල විභාග කළේ මෙම නිලධාරිනිය විසිනි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා