power-cut-minister-disturb

හිටපු අමාත්‍ය  නවීන් දිසානායක පදිංචිව සිටින කොළඹ 07 මැකාති පාරේ (විජේරාම මාවත) පිහිටි නිවසක රුපියල් ලක්ෂයකට අධික විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයකු රාජකාරියට බාධා කරමින්  තර්ජනය කර ඔවුන් ගේට්ටුවෙන් එළියට තල්ලු කළ බවට විදුලි බල මණ්ඩල සේවකයකු කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර ඇත.





මෙලෙස ගේට්ටුවෙන් එළියට ඇද දමා ඇත්තේ කොළඹ දකුණ විදුලිබල කාර්යාලයේ කනිෂ්ඨ කාර්මික සහායකයකු වශයෙන් කටයුතු කරන ගයාන් කණිෂ්ක නමැත්තකු සහ ඔහු සමග ගිය රියැදුරකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයට CIB 1 143/137 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

කොළඹ 07 මැකාති පාරේ අංක 6/1 දරන නිවසෙහි විදුලි බිල්පත නොගෙවීම හේතුවෙන් මණ්ඩලයේ දැනුම් දීමකට අනුව එම නිවසේ විදුලිය විසන්ධි කිරීමට ඊයේ (23) පෙරවරුවේ ගිය මොහොතේ එම නිවසෙහි පදිංචිව සිටින හිටපු අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයෙකු තමාට හා තමා සමග ගිය රියැදුරුට බැණවැදී නිවසේ ගේට්ටුවෙන් තල්ලු කර දැමූ බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් ආරංචිමාර්ග පවසයි.