polpithigama-incident

පොල්පිතිගම ප්‍රදේශයේ සැමියෙකු ඉතාම අමානුෂික ආකාරයට මහමගදී තම බිරිය ඝාතනය කළ සිදුවීමක් කථාබහට ලක්ව තිබේ. සැමියා බිරියගේ ගෙළ කපා ඝාතනය කරන්නේ දියණිය පෙර පාසලට ඇරලවමින් සිටියදී මහමගදී අවුරුදු 6 දරුවා ඉදිරිපිටදීමය.

ඊයේ (24දා) පොල්පිතිගම පොලිස් වසමේ ගල්ටැංවැව යාපහුව මාර්ගයේ තල්පත්වැව විද්‍යාලය ආසන්නයේදී මෙම සිදුවීම වාර්තාවී තිබේ.
මියගිය කාන්තාව ඊයේ (24 දා) උදෑසන පළමු පංතියේ ඉගෙනුම ලබන තම දරුවා තල්පත්වැව මහා විද්‍යාලයට රැගෙන ගොස් නැවත පාපැදියෙන් නිවසට පැමිණෙන අවස්ථාවේදී සිය සැමියා විසින් මෙලෙස අමානුෂික ලෙස මරා දමා තිබිණි. මහමගදී සැමියා සමග ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් කාන්තාවගේ මුහුණ, ගෙල හා හිස ප්‍රදේශයට තියුණු ආයුධයෙන් පහරදී තිබුණු බව පොලිසිය පවසයි. ඊයේ (24 දා) පෙ.ව 07.15 ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇත. ඇයව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළත් අධික ලෙස ලේ වහනය වී ඇය මරණයට පත්ව තිබේ.


මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, පොල්පිතිගම, තල්පත්වැව, වඩුපලයාගම පදිංචිව සිටි එක්දරු මවක වන දිනූෂිකා මධුවන්ති තෙන්නකෝන් (අවු. 32) නමැත්තියකි.
ඝාතනයට ලක්වූ කාන්තාව පාපැදියෙන් තම දියණිය පෙරපාසලට ඇරලවීමට එන අවස්ථාවේදී ඇයගේ විවාහක සැමියා යතුරුපැදියකින් පැමිණ මග හරස්කොට පාපැදිය නතර කර තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදු කර ඇති බවත්, ඝාතනය කළ සැකකාර සැමියා ප්‍රදේශයේ පලා ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය විය.
පහරදුන් සැමියා මහව පොලිස් වසමට අයිති අයකු බවද පරීක්‍ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් මෙහෙයුමක් අරඹා තිබේ.
 මියගිය කාන්තාව හා සැමියා පාසල් යන වියේ දීම ඇය ඇති කර ගත් පෙම් සබඳතාවක් මත හඳුනාගත් පෙම්යුවළක් වූ බවත් නිවසේ අය දැක්වූ විරුද්ධතා මත පැනගොස් කසාද බැන්ද කෙනෙකු බවත් වාර්තා විය.
පෙම්වතාගේ මහව නිවසේ දෙන්නා කසාද බැන්ද අලුත වාසය කර තිබේ. වාර්තාවන ආකාරයට ටික කලකින් දෙදෙනා අතරේ මත ගැටුම් ඇති විය.
මේ නිසා ඇය පසුව සහෝදරයාගේ නිවස  වෙත නැවත පැමිණි බව කියැවේ.
 දිනුෂිකාගේ මව්පියන් කුඩා කාලයේ දී ම මිය ගොස් ය. මේ නිසා මව්පිය සෙනෙහස නොලද ඇයට ඒ සෙනෙහස හා රැකවරණය ලබා දුන්නේ ඇයගේ වැඩිමල් සහෝදරයා ය.


 සහෝදරයා මේ යුවළ එක් කරන්නට උත්සාහ කර නව නිවසක්ද ඉදිකරදී ඇතැයි පැවසේ. ටික කලක් ඔවුන් නැවත සමගියෙන් වාසය කළ අතර දරුවකුද ඔවුනට ලැබුණි.
මේ අතරවාරයේ සැමියා හලාවත පැත්තේ වත්තක සේවයට ගිය අතර නිවාඩු ලබා සැමියා නිවසට ආවේ කලින් කලටය.
දරුවා බලාගෙන පාපැදියකින් දරුවාද රැගෙන පාසල් යැවීමේ කටයුතුද තනිව කරගනිමින් සිටි කාන්තාව ට සියල්ල අතහැර සැමියා සිටින ස්ථානය වෙත එන්නට සැමියා ඉල්ලා තිබී ඇති අතර මෙයට ඇය අකමැතිවීම නිසා දෙන්නා අතර අඩදබර ඇතිව තිබේ.  

“ළමයා පාසලට දැම්මා විතරයි. ආවාට ගියාට ළමයි පාසලෙන් මාරු කරන්න බැහැ. එතකොට ළමයාත් අසරණ වෙනවා. අපට බැරිවුණ අධ්‍යාපනය ළමයාට හරි හොඳට දෙමු” ඇය සැමියාගේ ඉල්ලීමට එරෙහි වු⁣⁣⁣ණේ දියණිය ගැන කියමින් බව පැවසේ.
මෙයට උරණවී සැමියා නිවසින් පිටවී ගොස් නැවත කලකින් ආවේ නැත.
කාලයකින් නිවසට නොආ ඔහු මහ මඟ රැඳී සිටි සිද්ධිය වූ දිනයේ මෙම අපරාධය කර තිබේ.
දියණිය පාපැදියේ වාඩි වී සිටියදීම සඟවාගෙන සිටි තියුණු ආයුධය බිරියගේ ගෙල පෙදෙසට එල්ල කළේය. ඇය පා පැදියෙන් බිම ඇද වැටුණි. සිඟිත්තිය පා පැදියට යට විය.තියුණු ආයුධයෙන් ඇගේ ගෙල හා මුහුණ දරුණු ලෙසට කපා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

බරපතළ තුවාල ලැබු ඇය ඒ මොහොතේ ම පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් සේවකයෙක් පැවසීය.


මියගිය කාන්තාවගේ මෘත දේහය පොල්පිතිගම මෘතශරීරාගරයේ තැන්පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සදහා මහව මහේස්ත්‍රාත්වරයා පැමිණීමට නියමිතව  තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.