polonnaruwa-doser

පොළොන්නරුව, වැලිකන්ද, ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය, සංවිධානාත්මක පිරිසක් විසින් දින කිහිපයක සිට විනාශ කරනු ලබමින් සිටින බව වාර්තා වේ. වනජීවී දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා අධිකාරියට අයත් මෙ රක්ෂියේ ඉඩම් අක්කර 1500කට වැඩි ප්‍රමාණයක් බඩ ඉරිඟු වගාව සඳහා ආයෝජකයන්ට  ලබාදී  ඇති බවත් ඔවුන් රක්ෂිතය  හිතුමනාපයෙන්  වනසා  විශාල ජාවාරමක් සිදු කරන බවත්, ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ සූරියවැව ගොවි  නියෝජිතයෝ පවසති. එම පිරිස ඩෝසර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර රැගෙන එම රක්‍ෂිතයට ඇතුළු වී එහි ඇති, වීර, පළු, බුරුත ආදී වටිනා ශාක පෙරළා දමමින් රක්‍ෂිතය ඩෝසර් කරමින් සිටින බවත්, එම රක්ෂිතයට ඊයේ (21) යනවිටත් විශාල වටිනා  ප්‍රමාණයේ වටිනා ශාක ඩෝසර් කරමින් සිටි බවත් ඔවුහු සඳහන කරති.

රක්ෂිතය විනාශ කිරීමත් සමඟ එහි සිටින අලින්, මුවන්, ගෝනුන්,

ආදී සතුන් ගම්වැදී තමන්ගේ ජීවිතවලට දේපළට හානි කරන බවද ප්‍රදේශවාසීහු  සඳහන් කරති.  අසල පිහිටි  රක්ෂිතයට තමන්ට උදලු මිටක්වත් ඉඩ ලබා නොදෙන අවස්ථාවක කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඩෝසර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර යොදාගෙන වටිනා රක්ෂිත විනාශ කිරීම විමතියට කරුණක් බවත්, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක  නොකරන්නේ  මන්දැයි ප්‍රශ්න කරන බවත් සූරියවැව ගොවි සංවිධානයේ හිටපු සභාපති එස්.ඒ. සමරසිංහ මහතා පැවසීය.

මේ  අතර ඩෝසර් දමා  විනාශ කරන මෙම රක්ෂිතය අලි කොරිඩෝවක් ලෙස   නම් කර ඇති සෝමාවතී සහ මාදුරුඔය අතර අලින් එහා මෙහා ගමන් කරන්නේ මෙම රක්ෂිතය හරහා බවත් ගම්වාසීහු සඳහන් කරති. මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර  කළමනාකාර ඉන්දික රණවීර මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ එම භූමිය තමන්ට අයත් නොවන බවයි. වනජීවී දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා වනජීවී නිලධාරීන්ගේ වෘත්තීය සංගමයේ සභාපති අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතාගෙන් කළ විමසීමක දී,

ඔහු පැවසුවේ විනාශ වෙමින් පවතින්නේ අලි සංක්‍රමණය  වන රක්ෂිතයක් බැවින්,  මෙයින් අලි මිනිස් ගැටුම උග්‍ර වීමේ විශාල අවදානමක් පවතින බවයි.

තමන් වනජීවී වෘත්තීය සංගමයේ සභාපතිවරයා හැටියට විනාශය  නතර කිරීමට  කඩිනම්  ක්‍රියාමාර්ග ගන්නා බව ද  ඔහු සඳහන් කළේය. එම රක්ෂිතය ඩෝසර් දමා එළි පෙහෙලි කරන ආයෝජකයන් පවසන්නේ බඩ ඉරිඟු වගාව සඳා මෙම ඉඩම් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හරහා තමන් ඇතුළු 29 දෙනකුට හෙක්ටයාර 49 බැගින් ලබා දී ඇති බවයි. එය නතර කිරීමට නම් අධිකාරියත්, දේශපාලන ප්‍රදේශයේ ජනතාව, මෙන්ම ආයෝජකයන් අතර සාකච්ඡාවක් කළ යුතු බව ද ඔහු කීවේය.

නිමල් ජයරත්න